gas-charitha-herath

මාස අටක කාලයක් මෙරට පැවැති ගෑස් හිඟය සමනය කරගැනීම සඳහා ලෝක බැංකුවෙන් දුන් ආධාර මුදලින් පවා රුපියල් බිලියන 1.3ක් ගසා කා ඇතැයි කෝප් කට්ටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා මහනුවරදී පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ මහනුවර හෝටලයකදී පැවැති නිදහස් ජනතා සභාව සම්මන්ත්‍රණය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හේරත් මහතා,

"පසුගිය දවස්වල ජනතාව අපට බැණ බැණ ගෑස් ගන්න පාරවල් දිගේ පෝලිම්වල හිටගෙන හිටියා. මාස අටක් ජනතාව එම දුක වින්දා. නමුත් කවුරුත් දන්නේ නෑ ඇයි එහෙම වුණේ කියලා. කණ්ඩායම් දෙකක් එකතු වෙලා ගෑස් ගේන ඒක සමාගමකට කොන්ත්‍රාත්තුවක් දුන්නා.

ඊළඟට ආපු ගෑස් සභාපතිවරයා එම කොන්ත්‍රාත්තුව නැවැත්තුවා. ඊට තරහ වී එම ගස් නියෝජිත කණ්ඩායම් දෙක එළිපිට රණ්ඩු වුණා.

එම රණ්ඩුව නිසා මාස අටක් මෙරට ජනතාවට ගස් හිඟයකට මුහුණදීමට සිදු වුණා. මේ රණ්ඩුව අතරතුර ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන හැත්තෑවක ආධාරයක් දුන්නා මෙරටට ගෑස් ගෙන ඒම සඳහා. අපේ ආණ්ඩුවෙනුත් තව ඩොලර් මිලියන විස්සක් දමා ගොස් ගේන්න සැරසෙන විට මුලදී ප්‍රතික්ෂේපෙ වුණ කොම්පැනිය වෙනත් මූණක් දමා නැවත ගිවිසුමක් ගැහුවා. අපට ඩොලර් 96කට ගස් මෙට්‍රික්ටොන් එකක් ගන්න තිබෙන වෙලාවේ ඩොලර් 129ට එය ගැනීමට නැවත කොන්ත්‍රාත්තුවක් ගැසුවා. අපි අමාරුවේ වැටුණ වෙලාවේ ලෝක බැංකුවෙන් දුන්න ආධාර මුදලත් ගසාගෙන කන තැනට අපේ රටේ කණ්ඩායම් පත්වුණා.

ඒ ගනුදෙනුවෙන් රුපියල් මිලියන 1300ක් ගසා කෑවා. ඒ කියන්නේ බිලියන 1.3ක්. මේ මුදල ගත්තේ කවුද, බෙදුවේ කාටද ගියේ කියන එක මේ රටේ අහිංසක ජනතාව දන්නේ නැහැ. මේ රට යන බරපතළ දූෂණ රැසක් එක්ක.

මේක නිවැරදි කරන්නයි 69 ලක්ෂයක් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියට ගෙනාවේ. අපි හිතුවේ රාජපක්ෂ පවුලේ වුණාට සාටකය නොදා ටයි එක දාන මේ මහත්තයා රාජපක්ෂ පවුලේ දේශපාලනයට වඩා  විද්වත්, ඉහළට යන දේශපාලනයක් කරයි කියා. නමුත් අපට එය වැරදුණා. ඒ වැරැද්ද නිවැරදි කරන්න අපට වගකීමක් තිබෙනවා. මොන නින්දා අපහාසය ආවත් අපි ඒ වැඩේ කරනවා.

මේ රටේ දේශපාලනය පවුල්වාදයෙන් නිදහස් විය යුතුයි. මේ රටේ රාජ්‍ය පාලනය දූෂණයෙන් නිදහස් කළ යුතුව තිබෙනවා. මේ රටේ අහිංසක අම්මලාගේ කුසලතාව තිබෙන දරුවන්ට ඉහළට යන්න පුළුවන් රටක් අප හැදිය යුතුව තිබෙනවා. මේ රටේ කුසලතාව දේශපාලකයන් විසින් පාගාගෙන සිටිනවා. මේ රටේ හොඳම ගායකයා වුණු අමරදේවගේ පුතා සිංදු කිව්වට හොඳම ගායකයා වුණේ නැහැ. මේ රටේ හොඳම නළුවා ගාමිණී ෆොන්සේස්කාගෙ පුතා රඟපෑවට හොඳම නළුවා වුණේ නැහැ. නමුත් මේ රටේ ජනාධිපතිලගෙ පුතාලා එහෙම වෙන්නේ නෑ.

මෙන්න මේ දේශපාලනය පරදන්නයි නිදහස ජනතා සභාව ඉදිරියට එන්නේ.

අමාත්‍යවරුන් විශාල වශයෙන් වංචා දූෂණවලට සම්බන්ධ වන නිසාත් පාර්ලිමේන්තුවට තේරී පත් වන මන්ත්‍රීවරුන් ඔවුන්ගේ වගකීම් හරිහැටි ඉටු නොකිරීම නිසාත් සමාජයේ පාර්ලිමේන්තුව පිළිකුල් කරන තැනකට පැමිණ තිබෙනවා. මේ රටේ මහජන මුදල් අයිති ජනතාවටයි. ජනතාව වෙනුවෙන් එය බලන්නේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනා.  නමුත් එය ආරක්ෂා නොකළ නිසා අද විශාල ප්‍රශ්නයක් රටේ ඇතිව තිබෙනවා. කෝප් කමිටුව පසුගිය වසර දෙක තුළ බැලුවේ මහ දවල් ඇස් පනාපිට සිදුකරන සොරකම් කොහොමද නවත්වන්නේ කියලා යැයිද පැවසීය.

(ෂේන් සෙනෙවිරත්න)