archeology-department-issue

මධ්‍යම සංස්කෘතික අරමුදල නීතියට පිටින් ගොස් 2018 සහ 2019 වර්ෂවලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන් 3,000 කට ආසන්න පිරිසක් බඳවා ගෙන ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් රුපියල් කෝටි 106ක් පමණ නිකරුණේ වැයකර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. එම ආයතනය මෙලෙස කටයුතු කර ඇත්තේ රජයේ ආයතනයකට වෙනත් ආයතනයක් වෙනුවෙන් සේවකයන් බඳවා ගැනීමට ප්‍රතිපාදන සලසා නොතිබියදී බව ද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා  පුරාවිද්‍යා සහායකයන් (කම්කරුවන්) 2271 දෙනකු සහ මුරකරුවන් 1,130 දෙනකු බඳවා ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය 2017 වර්ෂයේ ඔක්තෝබර් 17 වැනිදා අනුමැතිය ලබාදී තිබූ බවද එම වාර්තාව සඳහන් කරයි..

ඒ අනුව 2018 දෙසැම්බර් 31 වන විට බඳවාගත් මුළු සේවක සංඛ්‍යාව 1089කි. පුරාවිද්‍යා සහායකයන් 713 ක් සහ මුරකරුවන් 376ක්, ඉන්පසු 2019 සැප්තැම්බර් 30 වනවිට සේවකයන් 1487 දෙනකු (පුරාවිද්‍යා සහායකයන් 934 ක් සහ මුරකරුවන් 553ක්) බඳවාගෙන තිබුණු බව විගණන අංශ පෙන්වා දෙයි.ඉන් 1415 දෙනකු 2021 පෙබරවාරි මාසය වනවිටද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයේ යොදවා සිටි  බව සඳහන් වේ.  මේ අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලන අංශය ඉදිරිපත් කළ තොරතුරු අනුව, එහි තත්‍ය  සේවක සංඛ්‍යාව 2,780ක් වුවත් ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරි විසින් 2019 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව තත්‍ය සේවක සංඛ්‍යාව 3,500 ක් වූ බව පවසන විගණන කාර්යාලය එම වෙනසට හේතුව පැහැදිලි කිරීමට පාලනාධිකාරිය  අසමත් වූ බවද සඳහන් කළේය.


-සුජිත් හේවාජුලිගේ-