uttarakhand-receptionist-murder-ankita-bhandar

භාරතීය ජනතා පක්ෂයේ නායකයෙකුගේ පුතෙකුගේ නිවාඩු නිකේතනයේ පිළිගැනීමේ නිලධාරිනියක වූ අංකිතා භණ්ඩාරි නමැති තරුණියක උත්තරකාන්ද් ප්‍රදේශයේදී ඝාතනය කිරීමේ සිදුවීමක් නිසා ඉන්දියාවේ ආන්දෝලනයක් හටගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශාල මහජන උද්ඝෝෂණ මතුවීමෙන්පසු
භාරතීය ජනතා පක්ෂයේ නායකයාගේ පුත්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් (SIT) පිහිටුවා ඇත. භාරතීය ජනතා පක්ෂ නායක විනෝද් ආර්යාගේ පුත් පුල්කිත් ආර්යා සහ ඔහුගේ සේවකයින් දෙදෙනෙකු මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.



උත්තරකාන්ද් ප්‍රාන්තයේ පිළිගැනීමේ නිලධාරිනියක ලෙස සේවය කළ 19 හැවිරිදි තරුණියගේ ඝාතනය අනාවරණය වූයේ ඇය හිටිහැටියේ අතුරුදන්වීමෙන් පසුය.
නිවාඩු නිකේතනයකින් අතුරුදහන් වූ බව කියන ඇයගේ සිරුර උත්තරාකාන්ද් ප්‍රාන්තයේ ලක්ෂ්මන් ජුලා ප්‍රදේශයේ ගංගාවකින් හමු විය. මරණය දියේ ගිලී මිය යාමක් ලෙස පෙන්නුම් කළ නමුත් ඇගේ සිරුරේ මරණ පරීක්ෂණය අනුව මරණයට පෙර තුවාල තිබූ අතර එය මොට ආයුධයකින් පහරදීමට සමාන බව වාර්තා කරන ලදි.
මරණය සම්බන්ධ සැකසහිත කාරණා මතුවීම නිසා නිවාඩු නිකේතනයේ පිළිගැනීමේ නිලධාරිනියක ලෙස සේවය කළ අංකිතාගේ පවුලේ අය ආදාහනය කිරීම ප්‍රතික්ෂේප කළහ. මරණ පරීක්ෂණ වාර්තාව පිළිබඳව සෑහීමකට පත් නොවන බව පැවසූ පවුලේ අය කඩිනම් විධිමත් පරීක්ෂණයක් කර අධිකරණයට සිදුවීම ගෙන යන ලෙස ඉල්ලා තිබුණි. කෙසේ වෙතත්, පොලිස් පරීක්ෂණ කටයුතු සිදුකිරීමට එකඟවීමෙන් පසු පවුලේ අය ආදාහනය කිරීමට එකඟ විය. අංකිතාගේ දේහය පුරි ගාර්වාල් හි ශ්‍රීනගර් හි අලක්නන්දා ගඟ අසල ආදාහනය කරන ලදී.

තරුණියගේ මරණය රට පුරා දැඩි කෝපයට හේතු වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලකගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමෙන් පසු භාරතීය ජනතා පක්ෂය ද විනෝද් ආර්යාට එරෙහිව පියවර ගත්තේය. සිකුරාදා මිනීමැරුමක් බවට හඳුනාගත් අතුරුදහන් වූ තරුණියගේ සිදුවීම මේ වන විට ප්‍රාන්තය පුරා විරෝධතාවලට තුඩු දී තිබේ.

උත්තරකාන්ද් ප්‍රාන්තයේ පෞරි දිස්ත්‍රික්කයේ යමකේෂ්වර් බ්ලොක් හි නිවාඩු නිකේතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස සේවය කළ අන්කිතා භණ්ඩාරි දින කිහිපයකට පෙර අතුරුදහන් විය.

ඇගේ සිරුර සෙනසුරාදා විත්තිකරු විසින් ඇයව දමා ගිය බව කියන චීලා ඇළෙන් සොයා ගන්නා ලදී. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විත්තිකරුවන් - පුල්කිත් ආර්යා, නිවාඩු නිකේතන කළමනාකරු සෞරබ් භාස්කර් සහ සහකාර කළමනාකරු අන්කිත් ගුප්තා - දැරිය ඝාතනය කර ඇගේ සිරුර ඇළට දැමූ බවට පාපොච්චාරණය කර ඇත.
මේ ගැන පසුව වාර්තාවූ තොරතුරු අනුව කියැවුනේ ඇගේ මිනීමැරුමට දින කිහිපයකට පෙර දේශපාලකයා ඇය කැඳවා හෝටලේ ආගන්තුකයන්ට ගණිකා සේවය සපයන ලෙසත් ඒ සඳහා රුපියල් 10000 ක් පැයකට ගෙවන්නට හැකි බවටත් යෝජනා කර තිබූ බවයි. තමන් ඊට අකමැති බව ඇය කියා ඇතිඅතර මෙම සිදුවීම ඇය ඇගේ පවුලේ අයටද පවසා තිබේ.

සිද්ධිය වූ දිනයේ දේශපාලක පුතා ඇයව බලෙන් සිපගැනීමට උත්සාහ කළ බවටත් ඇය ඔහුගේ ක්‍රියාවට විරුද්ධවූ අවස්ථාවේ ඇයට බලහත්කාරකම් කළ බවටත් හෝටල් සේවකයින් කට උත්තර ලබාදී තිබේ.

තම දියණිය අහිමිවීම නිසා වේදනාවට පත් ගොවි වෘත්තියේ නියැළෙන මියගිය තරුණියගේ පියා පවසන්නේ, ‘මගේ දුව හරි දක්ෂයි. 12 පන්තියේ විභාගෙත් හොඳින් පාස් කරල හිටියෙ. එයා හෝටල් පාඨමාලාවක් හදාරන්න ඕන කිව්වාම මං මුදල් හොයල දෙන්න මහන්සි වුනා. මේ කාලෙ තමා 10000 ක වැටුපකට හෝටලේ පිළිගැනීම් නිලධාරිනී ඇබෑර්තුවකට ඇය ගියේ. ඒ මුදලින් ඇය ඉගෙනීම් කළා. හෝටලේ අත්දැකීම් ලබමින් හිටියා. මෙහෙම විපත්තියක් වෙයි කියල හිතුවෙ නැහැ.‘