ananda-palitha-speaks

ඉන්ධන අලෙවි කිරීමේදී රජය කළුකඩකාරයෙකුගේ තත්ත්වයට පත් වී තිබෙන බවත්, මේ නිසා ඉන්ධන මිල සූත්‍රය වහාම අවලංගු කරදැමිය යුතු බවත් සමගි ඉන්ධන, විදුලිය, වරාය වෘත්තීය සමිති සන්ධානය පවසයි. වර්තමාන ආණ්ඩුව විසින් ඉන්ධන මිල සුත්‍රයක් හඳුන්වා දුන්නේ, ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල වැඩි වනවිට ඉන්ධන මිල ඉහළ දැමීමට හා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යනවිට ඉන්ධන මිල පහළ දමන බවට ප්‍රකාශ කරමින් බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.

මිල සූත්‍රය උපයෝගී කරගෙන බොරතෙල් මිල සුළු මුදලකින් ඉහළ යනවිට මෙරට ඉන්ධන මිල අධික ලෙස ඉහළ දමා තිබෙන බවත්,

මැයි 25 වැනිදා සිට මේ දක්වා කාලය සැලකීමේදී අවස්ථා තුනකදී ඉන්ධන මිල අධික ලෙස ඉහළ දමා ඇති අතර, එහෙත් ඉන්ධන මිල අඩුවී තිබෙන්නේ අවස්ථා දෙකකදී පමණක් බවත් හෙතෙම පවසා සිටියේය. එම අවස්ථා දෙකේදීම ඉන්ධන මිල අඩු වී තිබෙන්නේ, රුපියල් 20ක් වැනි සුළු මුදලකින් බවත්, අගෝස්තු 01 වැනිදා සිට ඊයේ දිනය දක්වා කාලය සැලකීමේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 සිට ඩොලර් 85 දක්වා අඩු වී තිබෙන බවත් ආනන්දපාලිත මහතා සඳහන් කළේය.

ඉන්ධන මිල සූත්‍රය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබුවේ නම් ඉන්ධන ලීටරයක මිල රුපියල් 100කින් අඩු කිරීමට හැකියාව තිබූ බවත්, එහෙත් ශත පහකින්වත් එම කාලය තුළදී ඉන්ධන මිල අඩු නොවූ බවත් ඒ  මහතා පවසා සිටියේය. මේ අනුව පසුගිය අගෝස්තු මාසය තුළදී පමණක් තෙල් සංස්ථාව රුපියල් බිලියන දෙකයි දශම හතරක ලාභයක් උපයාගෙන තිබෙන බවත්, පොදුවේ සැලකීමේදී මේ වනවිට සෑම ඉන්ධන වර්ගයකින්ම රජය හා අධික ලෙස ලාභ ලබන  බවත් ආනන්ද පාලිත මහතා පැවසීය.



පසුගිය කාලයේදී තෙල් සංස්ථාව පාඩු ලැබූ බව සඳහන් කරමින් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් අසීමිත ලෙස අඩු වී තිබියදීත් ජනතාවට සහන ලබා නොදෙන බවත්, පසුගිය කාලයේ සංස්ථාව පාඩු ලබා තිබෙන්නේ පාලකයන්ගේ වරදින් බවත් පවසා සිටි ඒ මහතා, ඒ සඳහා ජනතාවට වගකිව නොහැකි බවද පවසා සිටියේය. බොරතෙල් අඩු වීමේදී ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු නොකරනවා නම්, ඉන්ධන මිල සූත්‍රය තිබීමෙන් ජනතාවට සෙතක් නොමැති බවත්, පවතින තත්වය තුළ බොරතෙල් මිල ඉහළ යන විට ඉන්ධන මිල ඉහළ යාම සාමාන්‍ය තත්වයක් යටතේ සිදුවන බවත් ආනන්දපාලිත මහතා සඳහන් කළේය. මේ නිසා මිල සුත්‍රයවහාම අවලංගු කර දැමිය යුතු බවත්, රටේ ජනතාවට පාලකයන් ආදරය කරනවා නම් ගෑස් හා ඉන්ධන, විදුලිය, ජලය සඳහා මිල නියාමන කොමික්සමක් පත් කරන ලෙසට ඉල්ලා සිටින බවද හෙතෙම පවසා සිටියේය.


(ඉන්දික හේවාවිතාරණ)