13-containers-of-maize-brought-from-the-country-to-make-triposha-were-diverted

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ආනයනකරුවන්ගෙන් ලැබුණු බඩඉරිඟු කන්ටේනර 13ක 'ඇෆ්ලටොක්සීන්' නමැති රසායනිකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු වීම නිසා එම කන්ටේනර් නැවත හරවා යැවූ බව ලංකා ත්‍රීපෝෂ සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. එම කන්ටේනර්වල, බඩඉරිඟු මෙට්‍රික්ටොන් 260 ක් තිබූ බව කී එම නිලධාරියා පසුගිය මාසයක පමණ කාලය තුළ එම කන්ටේනර් 13 හරවා යැවූ බව ද සඳහන් කළේය. ත්‍රිපෝෂ සමාගම පෞද්ගලික ආනයනකරුවන් හරහා බඩඉරිගු ලබාගන්නා බව කී එම නිලධාරියා ප්‍රතික්ෂේප කළ කන්ටේනර් 13 එම ආනයනකරුවන්ට නිල වශයෙන් නැවත බාරදුන් බව ද කීවේය.



ත්‍රිපෝෂ නිෂ්පාදන සදහා යොදාගන්නා ඕනෑම අමුද්‍රව්‍යයක් එම සමාගමට ලැබුණු පසුව එහි පරික්‍ෂණාගාරයේ දී අනිවාර්යෙන්ම පරික්ෂා කරන බවත් මෙම කන්ටේනර් 13ද එසේ පරීක්ෂා කිරිමේ දී එහි ගබඩාකර තිබූ බඩ ඉරිගුවල ' ඇෆ්ලටොක්සීන්' අධි ප්‍රතිශතය හඳුනා ගැනීමට හැකි වූ බවත් එම නිලධාරියා කීවේය. වරායේදී රේගු සහ සෞඛ්‍ය නිලධාරින් ආහාර ද්‍රව්‍යවල තත්වය පරික්ෂා කර සමත්වීමෙන් පසුව කන්ටේනර් නිදහස් කළ ද ත්‍රිපෝෂ සමාගමේදී ද පරික්ෂා කරන බව කී එම නිලධාරිවරයා තත්ව පරික්‍ෂණය අසමත් වුවහොත් ඒවා ප්‍රතික්ෂේප කරන බව පැවසීය.  මීට අමතරව එම බඩඉරිගු ඇතුළු අමුද්‍රව්‍යවල ගුල්ලන් වැනි සතුන් කීපදෙනකු සිටියත් ඒවා නැවත හරවා යවන බව ද එම නිලධාරියා සඳහන් කළේය.

ත්‍රිපෝෂ සමාගම නිෂ්පාදනය කරන ත්‍රීපෝෂ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් බෙදාරිනු ලබන බව කී එම නිලධාරියා එසේ බෙදාහරිනු ලැබූ ත්‍රිපෝෂවල ප්‍රමිතිය පිළිබඳව කළ පරික්ෂාවක දී ‘ඇෆ්ලටොක්සීන් රසායනිකය අධි සංයුතියෙන් යුත් ත්‍රීපෝෂ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස කිහිපයකින් හඳුනාගෙන ඇති බව ද කීව්වේය.

එම ත්‍රීපෝෂ පැකට් මව්වරුන්ට බෙදාහැර නොමැති අතර  බෙදාහැරිමෙන් ඉවත් කර ඇති බව ද ඔහු චෝදනා කළේය. සායනවලට බෙදීමට පෙර ත්‍රිපෝෂවල ප්‍රමිතිය මහජන සෞඛ්‍ය පරිකවරුන් විසින්ද පරික්ෂා කරනු ලබන බව කී  එම නිලධාරියා එම සෞඛ්‍ය පරික්ෂකවරුන් කළ පරික්ෂාවේදී ඇසෛලක්සින් රසායනිකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස කිහිපයකින් වාර්තා වී ඇතැයි ද සඳහන් කළේය. මේ අතර ත්‍රිපෝෂ ආදේශක ලෙස වෙළෙඳපොළේ අලෙවි වන පෝෂ්‍ය වර්ග කිහීපයකද ඇෆ්ලටොක්සින් රසායනිකය අධි ප්‍රතිශතයකින් පැවැති බවට තහවුරු වීම නිසා මේ වනවිට නඩු පවරා ඇති බව ද වාර්තා විය.


 යොහාන් භාසුර