ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඉකුත් 2021 වසරේදී රුපියල් කෝටි 10,230 ක වාර්තාගත ලාබයක් උපයා ඇති අතර එය පෙර වර්ෂයට (2020) සාපේක්ෂව සියයට 12ක ලාබ වර්ධනයකැයි ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මෑතකාලීන මතුවූ කතාබහේදී ටෙලිකොම් සමූහය පිළිබඳව සඳහන් වීම වැරදීමකින් සිදුවූවකැයි තමා සිතන බවද සභාපතිවරයා සඳහන් කළේය.



ටෙලිකොම් සමූහය 2021 වසරේදී සෘජු සහ වක්‍ර බදු වශයෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 1,930ක මුදලක් ගෙවා තිබෙන බවද පැවැසූ සභාපතිවරයා එම වසරේදී ලාභාංශ ලෙස පමණක් මහා භාණ්ඩාගාරයට රුපියල් කෝටි 180 ක මුදලක් ගෙවා ඇතැයි කීවේය. දැනටමත් පෞද්ගලීකරණය කර තිබෙන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය ඉකුත් කාලයේදී දිගින් දිගටම ලාබ ලැබූ ආයතනයක් බවද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.



කොවිඩ් වසංගතය පැවැති සමයේදී සේවක සුබසාධනය වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටු කරමින් ආර්ථිකයට සුවිශාල මෙහෙවරක් කළ බවද ඔහු කීවේය. ශ්‍රී ලංකා ටෙලිකොම් සමුහය 2022 වසරේ මුල් මාස හයේදී පෙර වසරට  සාපේක්ෂව සියයට 6ක වර්ධනයක් අත්පත් කරගත් අතර රුපියල් කෝටි 5290ක ආදායමක් ලැබූ බවද ඔහු පැවසීය. 2022 වසරේ මුල් මාස හයේදී ටෙලිකොම්  සමුහය රුපියල් කෝටි 720ක බදු පෙර ලාබයක් ලබා ඇති අතර එය සියයට 19.8ක වර්ධනයකැයිද ඔහු කීය.