salman-rushdi-attack

ඉන්දියානු සම්භවයක් ඇති ලේඛක සල්මන් රුෂ්ඩි සිකුරාදා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් හි වැඩසටහනක් අතරතුර පිහි ඇනුමකින් ප්‍රහාරයට ලක් විය. ඔහු එම ස්ථානයෙන් ගුවනින් රෝහලට ගෙන ගිය අතර ප්‍රතිකාර සිදුවෙමින් පවතී. පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

රුෂ්ඩිට කෘත්‍රීම ස්වසනය ලබා දී ඇති අතර ඔහුට ඇසක් අහිමි විය හැකි බව නියෝජිතයා පවසා තිබේ. ඔහුට කතා කිරීමට නොහැකි අතර ඔහුගේ අතේ ස්නායු කැඩී ඇති බවත් අක්මාවට පිහියෙන් ඇන තුවාල වී ඇති බවත් රෝහල ආරංචි අද උදෑසන වාර්තා කළේය. ඔහුගේ තත්වය බරපතල බවද රෝහල් ආරංචි හෙලි කර ඇත.



නවකතා 14 ක් ලියා ඇති ඉන්දියාවේ උපන් මෙම ගත්කතුවරයා බුකර් සම්මාන ලාභියෙකි. ඔහු හතරවැනියට 1988 දී ලියූ ‘The Satanic Verses’ නවකතාව දැඩි ආන්දෝලනයකට ලක් විය. මේ නවකතාවෙන් අල්ලාහ් දෙවියන් සාතන්ට සමාන කරමින් උපහාසයට නගා තිබූ අතර මේ නිසා ඉස්ලාම් දහම හෑල්ලුවට ලක්කළේ යයි ඔහුට එරෙහි විවේචන මතුවිය. පසුව දැඩි මතධාරී ඉරාන ඉස්ලාම් ආගමික නායක අයතුල්ලා කුමේනි ඔහුට එරෙහිව ‘ෆට්වා‘ එකක් ද නිකුත් කර තිබුණි. ඉන් අදහස් වන්නේ ‘ඔහු ආගමට නිගරු කළ නිසා ඝාතනය කළයුතු‘ අයෙකු බවයි. කෙසේ වෙතත් වසර 10 ක ඇවෑමෙන්  1998 දී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් කටාමි පැවසුවේ - අපි තවදුරටත් රුෂ්ඩි ඝාතනයට සහාය නොදක්වන බවයි.

එම ගතවූ වසර 10 ක කාලයේ ඔහුට පොලිස් ආරක්සාව ලබාදීමට බ්‍රිතාන්‍ය රජය පියවරගෙන තිබුණි.
සල්මන් රෂ්ඩි මුලින් බ්‍රිතාන්‍යයේද දෙවනුව ඇමරිකාවේද රැකවරණය ලබා ජීවත් විය.
ඔහු නවකතා ලිවීම නතර කරේ නැති අතර ඔහු ලියූ නවකතා 14 න් 6 ක් පමණ සම්මානයට පාත්‍රවූ ඒවාය.
ඉන්දියාවේ උපත ලබා කුඩා කාලයේදීම ඔහු බ්‍රිතාන්‍යයට ගියේය. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ රග්බි පාසලේය. පසුව ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ උපාධියක් ලබා ගත්තේය.

සාහිත්‍ය රචකයෙකු වීමට පෙර ඔහු දැන්වීම් ආයතනවල පිටපත් රචකයෙකු ලෙසද කටයුතු කර ඇත.
ඔහු විවාහයන් 4 ක් සිදුකර තිබෙන බව පැවසේ. ඔහු 2000 වසරේ සිට ඇමරිකාවේ වාසය කරමින් සිටියේය.

දේශනය සඳහා රුෂ්ඩි ළඟා වූ ශාලාවේ, ප්‍රේක්ෂකයින් හාරදහසක් පමණ සිටියහ.
ඔහු දේශනය කරද්දී වේගයෙන් වේදිකාව වෙත නරඹන්නන් සිටි දෙසින් දිවගිය 24 හැවිරිදි තරුණයෙකු ඔහුගේ බෙල්ල දෙසට පිහියෙන් ඇනගෙන ඇනගෙන ගිය බව සාක්ෂි ලැබී ඇත. පසුව නරඹන්නන් හා ආරක්ෂකයින් දිවගොස් වළක්වන්නට උත්සාහ ගත් අතර එසේ කරන්නට ගිය විට තත්පර 20 ක් තුළ රුෂ්ඩි ඇදවැටී අවසන්ය. එතැන සිටි වෛද්‍යවරයෙකු ඔහුට මූලික ප්‍රතිකාර ලබාදී ඔහුව හැකි ඉක්මණින් හෙලිකොප්ටරයකින් රෝහල වෙත පිටත් කර තිබුණි.

පහර දුන් පුද්ගලයා අනතුරුව පැමිණි සිටි පිරිසගේ පහරකෑමට ලක්විය. පසුව පොලිසියට ඔහු අල්ලා භාර දුන් අතර ඔහු මෙම ක්‍රියාව සිදු කළේ ඇයිද යන්න ප්‍රකාශ කර නැත. 24 හැවිරිදි තරුණයා හැඩි මාතාර් නමැත්තෙකු ලෙස හදුනාගෙන ඇත.
වෛද්‍ය වාර්තා පවසන්නේ රුෂ්ඩිගේ උගුරට 10-15 වතාවක් පිහියෙන් ඇන ඇති බවත් ජීවිත අවදානමක්ද පවතින බවයි. video below