police-arrested-president-house-first-man

 කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූ විරෝධතාකරුවන්ගෙන් මුලින් ඇතුළු වූ පුද්ගලයා අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි.



2022.07.09 වන දින ගාලු මුවදොර පිටියේ පැවැත් වූ විරෝධතාකරුවන්ගෙන් පිරිසක් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය තුලට නීති විරෝධිව ඇතුළු වී එහි දේපල වලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

එම විමර්ශන වලට අදාළව හඳුනාගත් සැකකරුවන් අතරින් ජනාධිපති ලේකම් කාර්යාලයට මුලින්ම ඇතුළු වූ පුද්ගලයා ලෙස හඳුනගත් සැකකරු කොළඹ උතුර කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.08.01 වන දින දහවල් කාලයේදී පරණ පාර, පන්නිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 ක් වූ පරණ පාර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වේ.



මොහු එදින පිහියක් අතැතිව සිටිමින් ලඟට ආවොත් පිහියෙන් කපන බවට ආරක්ෂක නිලධාරීන්ට තර්ජනය කර ඇති අතර, නැතිනම් පිහියෙන් තමාගේ ගෙල කපා ගන්නා බවටද නිලධාරීන් ඉදිරිපිට ප්‍රකාශ කර ඇති බවට මෙතෙක් සිදු කරන ලද විමර්ශන වලදි පෙනී ගොස් ඇත. මොහු මෙසේ ප්‍රචණ්ඩව හැසිරිමත් සමඟ විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට නීති විරෝධි ලෙස ඇතුළු වී ඇති බවට නිරීක්ෂණය වේ.

සැකකරු සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.