maharagama-incident

තම විවාහයට නිවැසියන්ගේ විරෝධය පළ විම නිසා මාස එකහමාරක බිලිඳකු සහ දහඅට හැවිරිදි කාන්තාවක මහමග අතරමං කොට පලාගිය පුද්ගලයකු සොයා විමර්ශනයක් ආරම්භ කළ බව මහරගම පොලිසිය පවසයි. මෙම පුද්ගලයා මීට වසරකට පමණ පෙර මහරගම පමුණුව ප්‍රදේශයේ වෙළෙඳසලක සේවයට පැමිණ සිටි හැටන් ප්‍රදේශයේ තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක් පටන්ගෙන තිබූ බව මුලික පරික්‍ෂණවලදී හෙළිවී ඇතැයි පොලිසිය කියයි. පසුව දෙදෙනා අඹුසැමියන් ලෙස වාසය කිරීම නිසා මීට මාස එකහමාරකට පමණ පෙර බිලිඳකු උපත ලබා තිබෙන අතර ඒ අනුව කාන්තාව පදිංචි හැටන් ප්‍රදේශයේ නිවෙසට ගිය අවස්ථාවේ ඇයගේ මාපියන් ඊට විරෝධය පළ කිරීම නිසා

ඇය නැවත බිලිඳා ද සමග මහරගම ප්‍රදේශයට පැමිණ තිබෙන බව පොලිසිය කියයි.

සැකකරු ඔහු පදිංචි පමුණුව ප්‍රදේශයේ නිවෙසට කාන්තාව සහ මාස එකහමාරක බිලිඳා කැටුව ඉකුත් 06 වැනිදා ගිය අවස්ථාවේදී ඊට එම නිවැසියන්ගේ ද විරෝධය එල්ල වී තිබී ඇතැයි පොලිසිය කියයි. සැකකරු බිලිඳා සහ කාන්තාව ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් එහි රැය පහන් කර පසුදා 07 වැනිදා රාත්‍රී යාමට ඒමට තැනක් නොමැති වීම නිසා මහරගම පමුණුව ප්‍රදේශයේ ජයන්ති මාවත අසල මහමග දමා මෙසේ පලාගොස් තිබූ බව පොලිසිය කියයි. ඒ අනුව බිලිඳකු සහ කාන්තාවක මහමග අතරමංව සිටිනු දුටු ප්‍රදේශවාසියකු ඒ බව මහරගම නගර සභාවේ ස්වාධීන නාගරික මන්ත්‍රී රුවන් සේනාරත්න මහතා දැනුවත් කර තිබේ.

මන්ත්‍රීවරයා සහ තවත් කිහිපදෙනකු සමග එම ස්ථානයට ගොස් අතරමංව සිටි කාන්තාවගෙන් විස්තර විමසා ඒ බව මහරගම නැගෙනහිර ග්‍රාම නිලධාරිනි නිලුපුනී තල්පාවිල මහත්මිය දැනුවත් කර තිබුණි.

ඒ අනුව ග්‍රාම නිලධාරිනිය එම ස්ථානයට පැමිණ සිද්ධිය විමසා ඒ බව මහරගම පොලිසිය දැනුවත් කිරිමත් සමග නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ කාන්තාව සහ බිලිඳු මහරගම පොලිසියට රැගෙන යාමට පියවර ගත්හ. මේ අතරතුරදී අතරමංව සිටි මාස එකහමාරක බිලිඳා කුසගින්නේ විලාප නගමින් සිට ඇති අතර එම සංවේදී සිදුවීම දුටු අසල්වාසීන් ඇය යාබද නිවෙසකට කැඳවාගෙන ගොස් කුසගින්නේ සිටි බිලිඳාට මවුකිරි දීමට පහසුකම් සලසා තිබුණි. කතගෙන් ලද තොරතුරුවලට අනුව සැකකරු හඳුනාගෙන ඇති අතර පලාගිය සැකම්කරු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන මහරගම පොලිසියේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රමේෂ් රත්නසිංහම් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකය.