gold-route-openning-bia

කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සදහා " රන් මාවත " ( Gold Route)නමින් නව සේවා පර්යන්තයක් , වරාය , නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතින් ඊයේ(18) දින පස්වරු 01.30 ට විවෘත විය .



ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන්ට ගුවන් තොටුපළ රාජකාරී සිදු කර ගැනීම සඳහා පෝලිම් වල නොසිට, මෙම විවේකාගාරය වෙත පිවිස ආගමන විගමන , රේගු කටයුතු මෙන්ම ආහාරපාන සහ සන්නිවේදන අවශ්‍යතා ද ඉතා කඩිනමින් මෙහිදී ඉටු කර ගත හැකිය .

මෙයට සමාන ප්‍රභූ පර්යන්තයක් කටුනායක ගුවන් තොටුපළ තුළ ඇති අතර , මෙම සේවාවන් නොමිලේ රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලනඥයන් වෙත හිමි වී තිබේ .

මීට අමතරව කටුනායක ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා මෙම පහසුකම් ලබා ගත හැකි " සේද මාවත "( Silk Route ) නමින් තවත් පර්යන්තයක් පවතින අතර , ඒ සදහා එක් ගුවන් මගියෙකුගෙන් ඇමෙරිකානු ඩොලර් 50 ක මුදලක් ගුවන් තොටුපළ විසින් අය කර ගනු ලැබේ .

මෙම නව පර්යන්තය සදහා එක් ගුවන් මගියෙකුගෙන් ඇමෙරිකානු ඩොලර් 200 ක මුදලක් අය කර ගනු ලබන අතර , www.airport.lk වෙබ් අඩවියට පිවිස එම මුදල ගෙවා මෙම පහසුකම් වෙන්කරවා ගත හැකිය.

 ටී.කේ.ජී.කපිල- කටුනායක