බාල වයස්කාර සිසුන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති දේවාල කපුවා අත්අඩංගුවට නොගන්නා ලෙස අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට බලපෑම් කර ඇතැයි කියන ගාල්ලේ උසස් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සිසුන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත්දා අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද උණවටුන මැටරඹ සතර මහා දේවාලයේ අයිතිකරුවන බටගොඩගේ වෙස්ලි කීර්ති කුමාර නමැති 44 හැවිරිදි කපුවා ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

පෞද්ගලික ආරක්ෂකයන් පවා තබාගෙන සුබෝපභෝගී ජීවිතයක් ගත කළ මෙම කෝටිපති කපුවා බාල වයස්කාර ළමයින් අපයෝජනයට ලක්කර ඒවා වීඩියෝකර විදේශ රටවලට අලෙවි කරන බවට ලැබුණු තොරතුරු මත ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. මේ අතර සැකකාර කපුවාට ඇමෙරිකාවේ කොමන්වෙල්ත් සාම සරසවිය මගින් ඉකුත් වසරේ නොවැම්බර් මස 6 වැනිදා ආචාර්ය උපාධියක් පිරිනමා ඇතැයිද පැවැසේ.

එවකට පැවැති කොරෝනා වසංගත තත්ත්වය නිසා සැකකරු ඇමෙරිකාවට ගෙන්වා නොගෙන එම සරසවියේ නියෝජිත පිරිසක් ලංකාවට පැමිණ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එම ආචාර්ය උපාධිය පිරිනමා ඇත.


-ඩී.පී. සුගතපාල-