sri-lanka-health

ශ්‍රි ලංකාවේ ආර්ථික අර්බුදය සෞඛ්‍ය  සේවයට එල්ල කර ඇති බලපෑම හා ඒ  සම්බන්ධව කුමක් කළ යුතුද යන්න පිළිබඳව වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහළිය රඹුක්වැල්ල මහතා මත දෙකක් දරන බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය වාර්තා කර ඇත. මාස ගණනක සිට ජීවිතාරක්ෂක ඖෂධ සහ උපකරණවල හිගයක් තිබීම හේතුවෙන් රෝගීන්ට ප්‍රමාණවත් පරිදි කඩිනම් සේවාවක් සැපයීමට අපොහොසත් වී ඇතැයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළත් සෞඛ්‍ය සේයට එවැනි දරුණු බලපෑමක් එල්ල වී නැතැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිකෙයි ඒෂියා වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කළ බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.



ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් සෞඛ්‍ය සේවයට යම් බලපෑමක් එල්ල  වුවත් ජීවිතාරක්ෂක අත්‍යවශ්‍ය ඖෂධ වර්ග දාහතරේම ප්‍රමාණවත් තොග ශ්‍රී ලංකාව සතුව තිබෙන බව රඹුක්වැල්ල මහතා එම සම්මුඛ සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සතුව මධ්‍යගත පද්ධතියක් නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් බව රඹුක්වැල්ල මහතා පෙන්වා දී තිබේ. එක් රෝහලක නොමැති බෙහෙතක් තවත් රෝහලක තිබිය හැකි බව පවසා ඇති  රඹුක්වැල්ල මහතා ඉන් ශ්‍රී ලංකාවේ ඖෂධ හිගයක් තිබෙන බව අදහස් නොවන බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ගැටලුව ඖෂධ ආනයනය කිරීමට මුදල් සොයා ගැනීම නොව දීපය ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය බවද රඹුක්වැල්ල මහතා සම්මුඛ සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත.

  ශ්‍රී ලංකාව කුඩා වෙළෙඳපොළක් වීම හේතුවෙන් ඖෂධ සමාගම් අඩු ප්‍රමුඛතාවක් ලබාදෙන බව රඹුක්වැල්ල මහතා එහිදී පෙන්වා දී තිබේ.  කළ යුත්තේ දැනට මාස හතරක් ගතවන ඖෂධ ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය මාසයක් දක්වා අඩු කිරීම බව රඹුක්වැල්ල මහතා එහිදී ප්‍රකාශ කළේය.
 -විමුක්ති එස්. රුද්‍රිගු -