ten-sri-lankans-vanish-from-commonwealth-games

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී නිමාවට පත්වූ 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ දස්කම් පදක්කම් හතරකට පමණක් සීමා වුවත් ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් සිටීයදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරින් අතුරුදන්වීමෙන් රටවල් 73ක් අතරින් ශ්‍රී ලංකාව පළමු තැනට පත්ව සිටියි. බර්මින්හැම් නුවරදී

අතුරුදන්වූ බවට සැක කරන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරින්ගේ පිරිස ක්‍රීඩා උළෙල නිමා වනවිට 12 දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ.



ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අන්දමට ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් සිටියදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් පහක ක්‍රීඩක ක්‍රිඩිකාවන් හා නිලධාරීන් 17 දෙනෙකු බර්මින්හැම් නුවරදී අතුරුදන් වී තිබේ. අවසන් වරට පසුගිය අගෝස්තු 10 වැනිදා පෙරළා දිවයිනට පිටත්වීමට සූදානම්ව සිටි සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ කාර්ය මණ්ඩල සහයකයෙකු බර්මින්හැම් නුවරදී අතුරුදන්වී තිබේ. ඔහු ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ලේකම්වරයකු ලෙසත් කලක් කටයුතු කළ අයකු ලෙස හඳුනා ගෙන තිබේ. ක්‍රීඩා උළෙල නිමවන තුරු ඔහු ශ්‍රී ලකා කණ්ඩායමේ රාජකාරි කටයුතුවල නියැලෙමින් සිටින අතර මෙසේ අතුරුදන් වූ බවට සැක කෙරේ.

කැමරුන්, බොට්ස්වානා හා ඝානා යන රටවල ක්‍රීඩකයන් තිදෙනකු හා පාකිස්තානයේ ක්‍රීඩකයන් දෙදෙනකුද ක්‍රීඩා උළෙලට සහභාගිවෙමින් සිටියදී අතුරුදන් වී තිබේ. ශ්‍රී ලංකාව ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකු හා නිලධාරින් 51 දෙනකු නිල වශයෙන් සහභාගි කළේය. ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක තත්වයට මෑතකදී පත්වීමෙන් පසුව මෙසේ ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් සිටියදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් එංගලන්තයේදී අතුරුදන්වීම ජාත්‍යන්තර මාධ්‍යයන්හි ප්‍රධාන පුවතක් බවට පත්ව තිබේ.



ජුඩෝ හා මල්ලවපොර ක්‍රීඩිකාවක් බැගින්ද මල්ලවපොර ක්‍රිඩකයන් දෙදෙනෙක්, බොක්සි ක්‍රීඩකයන් තිදෙනෙක්, වොලිබෝල් ක්‍රීඩකයන් දෙදෙනෙක්, ජූඩෝ කණ්ඩායමේ කළමනාකරු හා සමස්ත කණ්ඩායමේ නිල ඡායාරූප ශිල්පියෙක් ක්‍රීඩා උළෙල නිමාවෙමින් පවතින අතර විටින් විට අතුරුදන් වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෝ වෙති. කෙසේ වුවත් ක්‍රීඩා උළෙලට සහභාගි වීමේදී අවසරපත්" හිමිවුණු ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරින්ට එරට රැඳී සිටීම සඳහා දින 180 ක වලංගු වීසා කාලයක් ලැබී තිබේ.

"බර්මින්හැම්’ පොලිසිය හා එංගලන්තයේ ආගමන හා විගමන බලධාරින් ප්‍රකාශ කරන අන්දමට මෙම අතුරුදන් වූවන් දැනට එංගලන්තයේ රැදි තැන් පිළිබඳව හෝඩුවාවන් රැසක් තහවුරු වී තිබුණත් වලංගු වීසා කාලය අවසන් වනතුරු නීත්‍යනුකූල ක්‍රියා මාර්ග ගැනීම ප්‍රමාද කර ඇත.


(නාමල් පතිරගේ)