friday-leave-cancelled-for-gov

රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනය නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛය අවලංගු කිරිමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පවතින ඉන්ධන හිඟය මත රාජ්‍ය අංශයේ සේවකයන්ට සිය ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම ගැටලුවක් බවට පත් ව තිබීම හේතුවෙන් සහ ඉදිරියේදී ඇති විය හැකි ආහාර හිඟයට පිළියමක් වශයෙන් කෘෂිකාර්මික කටයුතුවල නිරත වීම පිණිස අවශ්‍ය පහසුකම් සලසා දීමට සිකුරාදා දින රජයේ කාර්යාල විවෘත නොකිරීම සඳහා 2022-06-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.



ඒ අනුව, එම උපදෙස් සහිතව මාස 03 ක කාලයකට වලංගු වන සේ 2022 06 15 දිනැති අංක 15/2022 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කර තිබේ.

එහෙත්, මේ වන විට පොදු ප්‍රවාහන සේවා යථාවත් වෙමින් පැවතීමත්, කෘෂිකාර්මික කටයුතු සඳහා වන මූලික ක්‍රියාකාරකම්වල යෙදීමට ප්‍රමාණවත් කාලයක් ලැබී තිබීමත් සැලකිල්ලට ගෙන ඉහත චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.