cinnamon-lake-side

කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවැති මෙරට හමුදා නිලධාරියකුගේ විවාහ උත්සවයකට අනවසරයෙන් ඇතුළුවීම නිසා පාකිස්ථානු ජාතික ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයකුට හා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හිමිකාරිත්වය දරන ආයතන ප්‍රධානියා ඇතුළු පිරිසකට කොළඹ තරු පහේ හෝටලයකදී පහරදීමේ සිදුවීමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී ඇත.



මෙහිදී පහරකෑමට ලක්ව ඇත්තේ පාකිස්ථාන ක්‍රිකට් විස්තර විචාරක ආමර් සොහයිල්, අයි.පී.එල්. තරගාවලියේ හිමිකාරිත්වය දරන අයි.පී.ජී. ස්පෝර්ට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධුරය හොබවන ඉන්දීය ජාතික අනිල් මෙනන් ඇතුළු කණ්ඩායමකි. පැමිණිල්ලට අනුව මෙම පහරකෑ පිරිස සමග ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයාද සිට ඇත.

හමුදා නිලධාරියකුගේ විවාහ උත්සවයක් පැවැත්වෙන අතරේ මෙම පිරිස සිනමන් ලේක්සයිඩ් හෝටලයේ විවාහ උත්සවය පැවැති පරිශ්‍රයට ඇතුළු වී සිටියදී පහරදී ඇත. විවාහ උත්සවයට එක්වූ පිරිස හා හෝටලයේ ආරක්ෂකයන් එක්ව මෙම පිරිසට පහරදී ඇත්තේ අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කර අ​ශෝභන ලෙස හැසිරුණු බවට වන චෝදනාවට බව අනාවරණය වී ඇත.



මෙම පිරිස සමග පැමිණි හයදෙනෙකු පමණ පහරකෑමට ලක්ව ඇති අතර පැමිණිල්ල ඉදිරිපත් වී ඇත්තේ පහරකෑමට ලක්වූ පාර්ශ්වයෙනි.

අයි.පී.ජී. සමාගමේ ශ්‍රී ලංකා කළමනාකරු විසින් මේ සම්බන්ධ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත. ශ්‍රී ලාංකීය සංස්කෘතික විවාහයක් දැකගැනීම සඳහා අනවසරයෙන් එහි ගිය පසු මෙම පහරකෑම සිදුවූ බවට පැමිණිල්ලේ සඳහන්ය.

(තිස්ස රවින්ද්‍ර පෙරේරා -අරුණ)