china-sri-lanka

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදෙන බව මෙරට චීන තානාපති චී.ජෙන්හුන්ග් කියා තිබේ.



චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කොටස්කරුවෙකු බැවින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙරටට සහය දෙන බව මෙරට චීන තානාපතිවරයා අගමැති දිනේෂ් ගුණවර්ධන සමග පසුගියදා අගමැති කාර්යාලයේ පැවති හමුවේදී පවසා ඇත.



මෙහිදී අගමැතිවරයා තානාපතිවරයාට පවසා ඇත්තේ නැවත වරක් ශ්‍රී ලංකාවට චීන සංචාරකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන ලෙසටය. දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් හම්බන්තොට ආර්ථික කලාපයේ කර්මාන්ත සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ චීන ආයෝජන අවස්ථා පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇත.

පවතින ආර්ථික අර්බුදය හමුවේ චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික, කෘෂිකාර්මික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම මෙම හමුවේදී අවධාරණය වී තිබේ. එමෙන්ම චීනයෙන් මෙරටට දීර්ඝකාලිනව අත්‍යවශ්‍ය වන පුද්ගලික සෘජු ආයෝජන ලබාදෙන ලෙසද චීන තානාපතිවරයාගෙන් අගමැතිවරයා ඉල්ලා තිබේ.