delgoda-woman-death
දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයේ තනිව නිවසේ සිටි සංවර්ධන නිලධාරිනියක ඝාතනය කිරීමට සැකපිට එම නිවස ඉදිකිරීමට පැමිණි පෑස්සුම් ශිල්පියකු පසුගියදා කුණ්ඩසාලේ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුණ්ඩසාලේ, නත්තරන්පොත ප්‍රදේශයේ පදිංචි තිස්තුන් වියැති විවාහක පුද්ගලයෙකි. තමා මෙම ඝාතනය සිදුකළ බව එම සැකකරු පාපෝච්චාරණය කළ බව පොලිසිය පවසයි.



තම නිවසේ තනිව සිටි හතළිස් දෙහැවිරිදි තරුණියට එකොළොස් පොළකට පිහියෙන් ඇන ගෙල කපා නිදියහන මත ඝාතනය කර තිබුණේ පසුගිය මස 12 වැනිදාය. මෙසේ ඝාතනය කර තිබුණේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරිනියක ලෙස කටයුතු කළ ලංකා ගනේෂි පනාපිටිය නමැති තරුණියකි.

ඝාතනය වූ කාන්තාවගේ නිවසේ ඉදිකිරීම් කළ මීපේ ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවකු පෑස්සුම්කරුවන් අවශ්‍ය බවට පුවත් පතක දැමූ දැන්වීමකට අනුව කුණ්ඩසාලේ, නත්තරන්පොත ප්‍රදේශයේ පදිංචි සැකකරු මීපේ ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරු ළඟ පෑස්සුම්කරුවකු ලෙස මෑතකදී රැකියාවට පැමිණ ඇත. කොන්ත්‍රාත්කරු කඳුබොඩ ප්‍රදේශයේ ඝාතනය වූ තරුණියගේ නිවසේ යකඩ වැටක් ඉදිකිරීම සඳහා මෙම සැකකරු යොදවා ඇත.

දින තුනක් එම නිවසේ යකඩ වැට ඉදිකිරීමේ නිරත වූ සැකකරු තෙවැනි දිනයේ උදෑසන නිවසේ තනිව සිටින තරුණියගේ රන් භාණ්ඩ හා මුදල් සොරාගැනීමේ අරමුණින් නිවසේ කොන්ක්‍රීට් කණුවක් දිගේ ඉහළට ගොස් උඩුමහලේ විවෘත කර තිබූ ජනේලයකින් ගෙතුළට රිංගා ගෙන ඇති බව පරීක්ෂණවලදී අණාවරණය වී තිබේ. එහිදී සැකකරු දුටු තරුණිය උදව් ඉල්ලා කෑ ගසා ඇත. ඇගේ කෑ ගැසීම හා දැඟලීම නැවැත්වීමට සැකකරු කීප විටක්ම උත්සාහ කර පසුව කොට්ටයක් ඇගේ මුවට තබා තද කර කාමරයේ මේසය මත තිබූ පිහියකින් ඇගේ ගෙල ප්‍රදේශයට ඇන මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය පවසයි.


පසුව සැකකරු ඇගේ ගෙලේ තිබූ කුඩා රන් මාලය සහ පාදයේ තිබූ පා සලඹද ගලවා⁣ගෙන ඇගේ මුදල් පසුම්බියේ වූ රුපියල් තිස්දාහක මුදලක් හා ජංගම දුරකථනයද සොරාගෙන එම නිවසින් බැහැරව එදින රාත්‍රි කොළඹට පැමිණ පාන්දර බසයකින් කුණ්ඩසාලේ ප්‍රදේශයට පිටත්ව ගොස් ඇත.

කොන්ත්‍රාත්කරු හමුවී මෙම සැකකරු පිළිබඳව පොලිසිය තොරතුරු විමසා සිටියත් ඔහු ළඟ සේවය කළ සැකකරු පිළිබඳව කිසිදු තොරතුරක් කොන්ත්‍රාත්කරු ළඟ තිබී නොමැත. සැකකරු මීට පෙර රැකියාව කළ ආයතනයක සේවකයෙක්ගෙන් ලද තොරතුරක් මත මහත් පරිශ්‍රමයක් දරා සැකකරු කොටුකරගෙන තිබේ. සොරාගත් රන් මාලය සැකකරු බණ්ඩාරවෙල ප්‍රදේශයේ සවර්ණාභරණ හලකට උකස් කර රුපියල් 63,000ක මුදලක් ලබාගෙන ඇති බවත් සොරාගත් ජංගම දුරකථනය සැකකරුගේ භාර්යාවට ලබාදී තිබියදී සොයාගත් බවත් පොලිසිය පවසයි.

රන් මාලය සහ ජංගම දුරකතනය පොලිස් භාරයට ගෙන ඇත. සොරබඩු ළඟ තබාගැනීමේ චෝදනාව මත සැකකරුගේ භාර්යාවද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. තරුණියගේ ඝාතනයට නිවසේ ඉදිකිරීම් සිදුකළ කොන්ත්‍රාත්කරුගේ සහායක් ලැබී තිබේද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි. සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

(තෙවිදු දිනයන - දෙල්ගොඩ, ඉසුරු අසංග - සපුගස්කන්ද- Aruna)