fraud-bank

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ජේලර්වරියක් සැක සහිත පෙති කීපයක් රැගෙන එම බන්ධනාගාරයට ඇතුළුවීමට තැත් කිරීමේදී. එහි ආරක්ෂාවට යොදවා සිටි විශේෂ කාර්ය බළකා නිලධාරිනියන් විසින් පෙරේදා (16දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.



විශේෂ  කාර්ය බළකා නිලධාරිනියක් විසින් අදාළ පෙති අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකාර ජේලර්වරිය විශේෂ කාර්ය බළකා නිලධාරිනියගෙන් එම පෙති උදුරාගෙන ගිල දැමීමට තැත්කර ඇති නමුත් එම උත්සාහය ව්‍යර්ථ වී ඇති බවද අනාවරණය වෙයි.

මෙම පෙති වර්ගය පිළිබඳව අදාළ ජේලවරියගෙන් විමසීමේදී අධික රුධිර පීඩනය ඇතුළු රෝගී තත්ත්වය සඳහා තමා භාවිත කරන ඒවා බවට අදාළ ජේලර්වරිය විශේෂ කාර්ය බළකා නිලධාරිනිය වෙත ප්‍රකාශ කර ඇති බවද දැන ගැනීමට තිබේ.

එසේ අත්අඩංගුවට ගත් සැක සහිත පෙති එහි සේවයේ නියුතු විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අදාළ විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාරය වෙත භාරදී ඇත.



අදාළ ජේලර්වරිය සතුව තිබූ සැක සහිත පෙති තුනක් බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා සිටින විශේෂ කාර්ය බළකා නිලධාරිනියන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පෙති මත්පෙතිද එසේ නොමැති නම් රෝගී තත්ත්වයක් සඳහා භාවිත කරන ඒවාද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා එම පෙති  බන්ධනාගාර රෝහල වෙත භාරදුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.

එම සැක සහිත පෙති වර්ගය බෙහෙත් පෙතිද මත්පෙතිද යන්න පිළිබඳව බන්ධනාගාර රෝහලේ පරීක්ෂණවලින් අනාවරණය කරගත හැකි බවත් එම පෙති මත් පෙති බවට අනාවරණය වුවහොත් අදාළ ජේලර්වරියට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.

කුමුදු උපුල් ශාන්ත, කීර්ති මෙන්ඩිස්