may-9-bus

පසුගිය මැයි 09 වැනිදා දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් විනාශයට පත් බස් රථ සඳහා මෙතෙක් රජය කිසිදු වන්දි මුදලක් ලබාදී නොමැති බවත්, මේ නිසා විනාශයට පත් බස් හිමිකරුවන් හා එම බස්වල සේවය කළ පිරිස් අසරණ තත්ත්වයකට පත්ව සිටින බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එදින සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා හානියට පත් දේශපාලනඥයන්ගේ නිවාස හා දේපළ වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳ පසුගිය දිනවල විශාල කතාබහක් ඇති වී තිබූ බවත්, ගෙවන වන්දි මුදල් පිළිබඳවත් ප්‍රකාශයට පත් කර තිබූ බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

විනාශයට පත් බස් රථවලින් සැලකිය යුතු ප්‍රමාණයක් පොලිස් ස්ථාන කිහිපයක් ආසන්නයේ නවතා දමා තිබෙන බවත්, විනාශයට පත් වී තිබෙන බස් රථවල ඉතිරි කොටස් පවා මේ වනවිට දිරාපත්වෙමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය. විනාශයට පත් බස් රථවලට රක්‍ෂණ වන්දි ලබාගැනීමට තවත් මාස කිහිපයක් ගතවන බවත්,

රක්ෂණ වදිය ලැබුණත් එම මුදලින් බස් රථයක් මිලදීගත නොහැකි අතර, මෙම ප්‍රචණ්ඩ ක්‍රියා නිසා බස් රථ 100ක් පමණ විනාශ වූ බවත් සභාපතිවරයා සඳහන් කළේය.මේ නිසා විනාශයට පත් බස් රථ සඳහා රජය හරහා වන්දි ලබාදෙන ලෙස එවකට පැවති ආණ්ඩුවේ බලධාරින්ගෙන් ඉල්ලා සිටි බවත්, එහෙත් දේශපාලනඥයන්ගේ දේපළ සඳහා වන්දි ලබාදීමට අවශ්‍ය කටයුතු කිරීමට ආණ්ඩුව විශාල උන්නදුවක් දැක්වූවත් විනාශයට පත් රථවලට වන්දි ගෙවීමට කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක නොවන බවත් හෙතෙම පවසා සිටියේය. පවතින ඉන්ධන අර්බුදය යටත්තේ ග්‍රාමීය ප්‍රදේශවල පවතින බස් රථවලට නිසි ලෙස ඉන්ධන නොලැබෙන බවත්,



මේ නිසා ග්‍රාමීය ප්‍රදේශවල බස් රථ ධාවනය නිසි ලෙස සිදුකිර්මට නොහැකි වී තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේ. පොදුවේ සමස්ත බස් රථවලින් 80%ත් 95%ත් අතර ප්‍රමාණයක් ධාවනය කිර්මට හැකියාව ලැබී තිබෙන බවත්, ග්‍රාමීය ප්‍රදේශවල බස්  රථ සඳහා ඉන්ධන ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරන තෙක් එම ප්‍රදේශවල සමස්ත බස්රථ ප්‍රමාණයම ධාවන කිරීමට නොහැකි වන බවත් ඒ මහතා පවසා සිටියේය.


(එච්.අයි. තුෂාර)