kegalle-incident

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් සිය බිරියට පිහියකින් කොටා තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අගෝස්තු 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත  කරන ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය පෙරේදා 1(6 වැනිදා) නියෝග කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කෑගල්ල වතුර දික්හේන ප්‍රදේශයේ පදිංචිව සිටින 45 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුට වයස අවුරුදු 22 හා 17ක පිරිමි දරුවන් දෙදෙනකු සිටින බවත් කුලී වැඩ කර බිරිය හා දරුවන් පෝෂණය කරමින් සිට ඇති බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි පොලිස් සැරයන් වසන්ත කුමාර (36859) අධිකරණයට කරුණු වාර්තා කරමින් පැවැසීය.

කාලයක සිට සැකකරු හා බිරිය අතර පවුල් ආරවුලක් සම්බන්ධයෙන් වෙන්වී එකම ඉඩමේ නිවාස දෙකක් තනාගෙන ජීවත් වෙමින් සිටින බවද සැරයන්වරයා දැන්වීය.

ඉකුත් 14 වැනිදා සවස යළි සැකකරු හා බිරිය අතර ඇති බව කියන ප්‍රශ්නයක් හේතුවෙන් සැකකරු බිරියගේ අතට පිහියකින් ඇන තුවාල සිදුකර කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබිණි. මවට පිහියකින් ඇනීම පිළිබඳව උරණ වූ සැකකරුගේ දරුවන් දෙදෙනා පියා අල්ලාගෙන පහර දී අසල පිහිටි විදුලි කණුවක ගැට ගසා ඇති බවද පැවැසීය. 119 දරන හදිසි දුරකථන පණිවුඩයකට ලද තොරතුරකට අනුව කෑගල්ල පොලිසියට ගෙන ආ බවත් අධිකරණයට වාර්තා කෙරිණි. පසුව සැකකරු ඉකුත් 15 වැනිදා කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය තරංග බණ්ඩාර නායකරත්න මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු වෛද්‍යවරයාට කියා ඇත්තේ තමන්ට දරු දෙදෙනා පහර දුන් බවත්ය. පසුව සැකකරු කෑගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා දීමට ඇතුළත් කරන ලෙස පොලිසියට උපදෙස් දී තිබේ.

සැකකරුගේ රෝගී තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා කෑගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් නිශාන්ති අබයරත්න මහත්මිය කෑගල්ල මහ රෝහලට ගොස් පරීක්ෂා කර බලා සැකකරු 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය. කෑගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් කුලතුංග මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

දමුණුපොළ – චමින්ද ජයලත්