කලාපයේ ප්‍රථම ‘Downtown Duty-Free’ වර්ගයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය සඳහා අවශ්‍ය යටිතල ව්‍යුහය ඉදිකිරීමේ කටයුතු කොළඹ වරාය නගරයේ සම්පූර්ණ වී ඇති අතර,

එහි අභ්‍යන්තර ඉදිකිරීමේ කටයුතු ළඟදීම ආරම්භ වනු ඇති බව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත රෙගුලාසි මේ වනවිට කෙටුම්පත් කර ඇති අතර, එයට කැබිනට් අනුමැතිය අපේක්ෂා කෙරේ.

මෙම සාප්පු සංකීර්ණය ලොව ප්‍රමුඛතම තීරුබදු රහිත භාණ්ඩ සමාගම් දෙකක් මගින් මෙහෙයවනු ලබනු ඇති අතර, එමගින් කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇත.

ඒ වෙනුවෙන් පාරිභෝගිකයන්ට ලොව විවිධ සූපශාස්ත්‍ර සම්ප්‍රදායන්ට අයත් ආහාරපාන ලබාගැනීමට හැකිවන ආකාරයට, ලොව ඉහළම තලයේ ආහාරපාන සමාගමක් සමග ගිවිසුම්ගත වීම සඳහා මේ වනවිට සාකච්ඡා සිදුකෙරෙමින් පවතින අතර, මෙමගින් තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සාප්පු සවාරියේ යෙදෙන්නන් හට ‘Watering Hole’ සංකල්පයට සමාන අත්දැකීමක් හිමිවනු ඇති බවත්, කොළඹ නගරය ලොව ආහාරපාන සම්බන්ධ කැපීපෙනෙන ගමනාන්තයක් ලෙස කීර්තියක් දිනාගනු ඇති බවත් කොමිසම් පෙන්වාදෙයි. සාප්පු සවාරි අත්දැකීම තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා, විදේශ සංචාරකයන් වෙනුවෙන් දුරස්ථ ‘check-in’ ක්‍රියාවලියක් සහ ‘checked-in baggage hauling’ ක්‍රියාවලියක් හඳුන්වා දීම සඳහා මේ වනවිට සැලසුම් කෙරෙමින් පවතී.



එසේම වරාය නගරයේ බිම් කොටස් 34ක් අතරින් බිම් කොටස් 6ක් කොමිෂන් සභාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200 කට ආසන්න වටිනාකමකින් යුත් නව බදු ගිවිසුම් 6 ක් යටතේ වසර 99 ක කාලසීමාවක් සඳහා ආයෝජකයන් වෙත ලබාදී ඇත. මේ සඳහා ආයෝජකයන් විසින් සමස්තයක් වශයෙන් ඇමරිකානු ඩොලර් 600 ක ආයෝජන කැප කර ඇතැයි කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පවසයි.

(නයන තරංග ගමගේ)