aragala-court

“ගෝඨා ගෝ ගම" අරගල භූමියේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කරගන්නා ලෙසට පොලිසිය කළ දැනුම්දීමෙන් තම මුලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් එහි සක්‍රීය අරගලකරුවන් සිවු දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් ඊයේ (04) ගොනුකර ඇත. පොලිසිය කළ එම දැනුම්දීම වහාම බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද අරගලකරුවන් සිය පෙත්සම්වලින් ඉල්ලා තිබේ. අසංක අබේරත්න,

ඉරෝෂ් අපෝන්සු, වීරගහවත්ත කාශ්‍යප හිමි සහ ලහිරු මධුෂාන් යන අරගලකරුවන් සිවුදෙනා මෙම පෙත්සම් ගොනුකර ඇත. මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ කොටුව පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාගර ලියනගේ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, නාගරික සංවර්ධන අධිකාරිය සහ නීතිපතිවරයාය.

නීතිඥ මංජුල බාලසුරිය මහතා විසින් ගෙනුකරනු ලැබ ඇති මෙම පෙත්සමේ සඳහන්ව ඇත්තේ ඉකුත් 03 වැනි දින පස්වරු 5.30ට පමණ කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් මෙම දැනුම්දීම තමන්ට කළ බවය.මෙම අරගල භූමිය නාගරික සංවර්ධන  අධිකාරියට අයත් භූමියක් වන අතර අනවසරෙන් ඉදිකර ඇති ඉදිකිරීම් සහ එහි තබා ඇති භාණ්ඩ 05 වැනි දින සවස 5.30ට පෙර ඉවත්කර ගන්නා ලෙසට එම දැනුම්දීමේ සඳහන්ව තිබූ බවද පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් දක්වා තිබේ.

මෙවැනි දැනුම්දීමක් කිරීමට පොලිසිය කිසිදු නීතිමය බලයක් නොමැති බවත්, අරගලකරුවන් මෙම ස්ථානයෙන් ඉවත් කිරිමට නම් පොලීසිය අනිවාරේයන් අධිකරණ අවසරයක් ලබාගත යුතුව ඇති බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම්වල දක්වා ඇත.


 නිමන්ති රණසිංහ