bambalapitiya-theft

බම්බලපිටියේ නිවසකින් රුපියල් ලක්ෂ 42 ක මුදලක් සොරාගැනීම සම්බන්ධයෙන් එහි මෙහෙකාරිය අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. සැකකාරිය මෙම මුදල් නිවසේ රෙදි සෝදන යන්ත්‍රයක් තුළ සගවා තිබියදී පොලිසිය සොයා ගෙන ඇත. සැකකාරිය සේවය කරන නිවසේ හිමිකරුවන්ගේ දියණිය ඇමෙරිකාවේ පදිංචිව සිටින බවත්, ඇය මාස දෙකක නිවාඩුවක් සඳහා දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවත් පොලිසිය කියයි. සිය දෙමාපියන්ට මෝටර් රථයක් මිලදී ගෙන දීම සඳහා ඉකුත් 12 වැනිදා ඇය බම්බලපිටියේ බැංකුවකින් ලක්ෂ 62 ක පමණ මුදල ලබාගෙන පසු දින 13 වහනය මිලදී ගැනීමේ සූදානමින් එම මුදල බෑගයක දමා තිබී ඇති බව පොලිසිය පවසයි.



පසුදින වාහනය මිලදී ගැනීමට යාම සඳහා සූදානම්ව මුදල් බැලීමේ දී බෑගයේ තිබී ඇත්තේ රුපියල් ලක්ෂ 20ක මුදලක් පමණක් බැවින් ඉතිරි ලක්ෂ 42 ක මුදලක් අතුරුදන්ව ඇති බවට දැනගෙන නිවසේ හිමිකරුවන් සිද්ධිය බම්බලපිටිය පොලිසියට පැමිණිලි කර ඇත.  පොලිසිය නිවසට පැමිණ පරික්ෂා කිරීමේදී එම නිවසට කිසිවකුත් ඇතුළු වී නොමැති බවට හෙළි වීමෙන් පසුව නිවසේ මෙහෙකාරිය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් අනුව ඇයගෙන් ප්‍රශ්න කර ඇත. පොලිසිය ඇයගෙන් ප්‍රශ්න කිරිමේදී ඇයගේ ඇඳුම් බෑගයේ තිබී රුපියල් 1,75,000 ක මුදලක් සොයාගෙන ඇති අතර, ඉතිරි මුදල්ද නිවසේ රෙදි සෝදන යන්ත්‍රයක සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය  පවසයි. අත්අඩංගුවට ගත් සැකකාරිය වටවල ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි තිදරු මවක බවද පොලිසිය කියයි.


-ඉන්දිකා රාමනායක -