fertilizer-issue

රජය විසින් ගොවීන්ට යූරියා පොහොර ලබාදෙන්නේ නම් එය සියලු ගොවීන්ට එකම මිලකට ලබාදෙන ලෙසත්, කුඹුරු ගොවීන්ට රුපියල් 10,000කටත්, තේ ගොවීන්ට එය රුපියල් 15,500කටත් ලබාදීම තුළින් රටේ ගොවීන් කොට්ඨාස දෙකකට බෙදා සැලකීම අනුමත කළ නොහැකි බවත් මධ්‍යම පළාත් කුඩා තේ වතු සමිති සන්ධානයේ සභාපති දඹගොඩ සෙනෙවිරත්න මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ මහනුවර පොත්තපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෙනෙවිරත්න මහතා, "ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාර මිලක් යටතේ ලබාදෙන්නේ නම් ඒ සියලු ගොවීන්ට එකම මිලකට පොහොර ලබාදිය යුතුව තිබෙනවා. එකම කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරුන් දෙදෙනෙක් තමන් යටතේ පාලනය වන ගොවීන්ට මිල ගණන්  දෙකකට පොහොර ලබාදීම හාස්‍යයට කරුණක්.රටේ විදේශ විනිමය ගැටලුවක් පැන නැගී තිබෙන මොහොතක රටට ඩොලර් ගෙනඑන තේ ගොවියාට වෙනස් විදියට සැලකීම අනුමත කළ නොහැකියි. මෙම ගැටලුවට ඉක්මන් පිළිතුරක් අප රජයෙන් බලාපොරොත්තු වෙනවා. මේ වන විට රටේ විවිධ පළාත් අනුව තේ දළු දලු කිලෝව සඳහා ගෙවන මිල වෙනස් වෙමින් තිබෙනවා. දකුණු පළාතේ තේ දළු කිලෝවකට රුපියල් 400ක පමණ මුදලක් ගෙවදී රට මැද ගොවියාට ලැබෙන්නේ රුපියල් 150ක පමණ මුදලක්, සියලු පළාත්වල තේ එකට අපනයනය කරන්නේ නම් එක් එක් ප්‍රදේශවලට විවිධ මිල ගණන් ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි අප ප්‍රශ්න කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.වත්මන් ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය පත්ව එතරම් කාලයක් නොමැති බැවින් උඝෝෂණ හා විරෝධතා මේ අවස්ථාවේ පැවැත්වීමට සූදානම් නොමැති වුවත් අදාළ ගැටලුවලට ඉක්මන් විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී දැවැන්ත විරෝධතාවක් ඇරඹීමට බලාපොරොත්තු  වනවා" යනුවෙන් පැවසීය.


(ශේන් සෙනෙවිරත්න)