අරගලකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර ගෝඨාගෝගම අරගල භූමියට රුපියල් ලක්‍ෂ 49 ක පාඩුවක් සිදු ඇතැයි ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු  වාර්තාවේ දැක්වෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. එම භූමිය නැවත සකස් කිරීමේ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක්ද තණපිඩලි ඇල්ලීම වෙනුවෙන් රුපියල් ලක්ෂ හතළිහන හමාරක මුදලක්ද වැය වන බව එම අධිකාරියේ තක්සේරු වාර්තාවේ සදහන් වේ. මේ අතර නාගරික සංවර්ධන අධිකාරියට අයත් ගෝල්ෆේස් පිටිය ප්‍රදේශයට සිදුවී ඇති හානියට අදාළ වන්දි අරගලකරුවන්ගෙන් අය කරගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.



ගෝඨාභය රාජස්පක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් අරගලකරුවෝ පිරිසක් කොළඹ ගාලුමුවදොර ප්‍රදේශයේ මාස තුනකට අධික කාලයක් අනවසරයෙන් රැඳී සිටියහ. රාජක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව අරගලකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට අධිකරණය දැනුම් දුන්නේය. ඒ අනුව ඔවුහු එම ස්ථානයෙන් ඉවත් වූහ. අරගලකරුවන් රැදී සිටි භූමි ප්‍රදේශය කොළඹ නගර සභා බල ප්‍රදේශයට අයත් වන අතර නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස අති විශේෂ ගැසට් පත්‍රයක් මගින්ද ප්‍රකාශයට පත් කරනු ලැබූවකි.



නාගරික සංවර්ධන ප්‍රදේශයක යම් සංවර්ධන කටයුත්තක් හෝ තාවකාලික ඉදිකිරීමක් කරන්නේ නම් 1982 අංක 4 දරන නාගරික සංවර්ධන අධිකාරි සංශෝධන පනතේ 8 (ඒ) 1 වගන්තිය ප්‍රකාරව ඒ සඳහා බලපත්‍රයක් ලබාගත යුතු වෙයි. අරගලකරුවන් එම භූමියේ අනවසර ඉදිකිරීම් රැසක් කර තිබීම හේතුවෙන් පොදු මහජනතාවට නිදහසේ එම ප්‍රදේශය භාවිතා කිරීමට තිබු අයිතියටද බාධා සිදු වූ බව පවසන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නාගරික සංවර්ධන අධිකාරියට බලය පැවරී ඇති බවද සඳහන් කරයි.

සුජිත් හේවාජුලිගේ