668-gem-robbery

ඉකුත් ජූලි 10 වැනිදා පෙරවරුවේ කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබුණේ එම පොලිස් වසමට අයත් අංක 51, ඇලෙක්සැන්ඩ්‍රා ප්ලේස්හි පිහිටා ඇති ‘668‘ චීන අවන්හලෙහි මැණික් ගල් අසුරා තිබූ සේප්පුවම සොරකම් කරගෙන ගොස් ඇති බවයි. සොරකම 8 වැනිදා රාත්‍රියේ සිදු වූවත් පැමිණිල්ල 10 වැනිදා කුරුදුවත්ත පොලිසියට ලැබී තිබුණේ ඒ දින කීපයේ රටේ පැවැති අරාජික තත්ත්වය නිසාවෙනි. මේ ගැන කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ල අදාළ අවන්හලේ පාලනාධිකාරි නිලධාරින් සඳහන් කර තිබුණේ,

“අපේ රෙස්ටූරන්ට් එකේ තිබ්බ සේප්පුවක් නැතිවෙලා... ඒකේ මැණික් ගල් ගොඩක් තිබුණා...“ යනුවෙනි.

ඒ අනුව සේප්පුවේ තිබූ මැණික්වල වටිනාකම රුපියල් පහළොස් කෝටි අසූහත් ලක්ෂ් තිස්පන් දහසක් බව හෙළි විය. එසේම එම සොරකම සිදුවෙද්දී අවන්හලේ සේවය කරන කීප දෙනෙක්ම එම ගොඩනැඟිල්ලේ උඩු මහලේ නිදාගෙන සිටි බවද පැමිණිල්ලෙන් කියැවිණි.

එම පැමිණිල්ල පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය විමර්ශනයක් සිදු කරද්දී එම විමර්ශන සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ උපදෙස් මත මෙවැනි සොරකම්, අබිරහස් ඝාතන, පාතාල මර්දනයන් වැනි බොහෝ අපරාධ විමර්ශනයටම ස්ථාපිත කොළඹ අපරාධ කොට්ඨාසයේ (සීසීඩී) නිලධාරින්ද එම විමර්ශනයට එකතු වූහ.



ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් නෙවිල් සිල්වාගේ ඍජු අධීක්ෂණයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇනස්ලම් සිල්වාගේ මෙහෙයවීම මත එහි සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මධුරංග ප්‍රමුඛ කණ්ඩායමට එකී විමර්ශන බාර විය.

අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරි කණ්ඩායම අදාළ ස්ථානයට ගොස් සොරුන් සේප්පුව පන්නාගෙන ගිය ආකාරය එම අවන්හලේ සහ අවට සීසීටීවී කැමරා දසුන් නිරීක්ෂණය කරමින් විමර්ශන ආරම්භ කළහ. එහිදී සීසීටීවි කැමරාවන්හි සටහන් වී තිබුණේ එම පුද්ගලයන් වෑන් රථයකින් පැමිණ මුහුණු වසාගෙන අවන්හලට ඇතුළු වී සේප්පුව රැගෙන යන ආකාරයකි. එම දසුන් ඔස්සේ අවන්හලේ සේවය කරන අය පිළිබඳවත් ඊට පෙර සේවය කළ අය ගැනත් විමර්ශන නිලධාරින්ගේ නිරීක්ෂණයට ලක්විය. එම පුද්ගලයන් ගැන විමර්ශනය සිදු කළේ සීසීටීවී දර්ශනවල සටහන් වූ මුහුණු වසාගෙන යන පුද්ගලයන්ගේ ඡායාරූපද විශ්ලේෂණය කරමිනි.

එහිදී එක් පුද්ගලයකු ගැන නිලධාරින්ගේ විශේෂ අවධානයක් යොමු විණි. ඔහු පිළිබඳ දැඩි සැකයක් පහළ විණි.

“සර්... මේ මීට මාස හයකට විතර කලින් මෙහේ වැඩ කරලා අයින්වෙලා ගිය කෙනානේ...“

මේ දර්ශන දුටු අවන්හලේ සේවකයෝ සීසීඩී නිලධරයනට පවසන්නේ එවැනි කතාවකි.

මේ පුද්ගලයා පිළිබඳ පොලිසිය වැඩිදුරටත් සොයා බලද්දී එම පුද්ගලයා අදාළ අවන්හලේ රියැදුරකු ලෙස සේවය කොට ඇති අතර ඔහු මීට මාස හයකට පමණ පෙරදී ඉන් ඉවත්ව ගොස් සිටි අයෙකි. ඔහු ඌව පරණගම, වැලිමඩ, ලූණුවත්තේ පුද්ගලයෙකි. හෙතෙම 23 හැවිරිදි ඉරෝෂ් නමැත්තෙක් ලෙස හඳුනා ගැනිණි. ඔහු අදාළ අවන්හලේ රැකියාවට පැමිණ තිබුණේ හිතවතකු මාර්ගයෙනි. මාස හතරක පමණ කාලයක් රියැදුරු රැකියාවේ නිරතව සිටි ඉරෝෂ් සොරකමට මාස හයකට පමණ පෙරදී ඉන් ඉවත්ව ගොස් ඇත.

මේ සොරකමට ඉරෝෂ් සම්බන්ධ බවට හඳුනා ගැනීමත් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ උපපොලිස් පරීක්ෂක මධුරංග ප්‍රමුඛ කණ්ඩායමක් ඌව පරණගම, ලූණුවත්ත ප්‍රදේශයට ගියේ සැකකරු සොයාගෙනය. එහෙත් ඔහු ඒ වන විට එම ප්‍රදේශයෙන් පලා ගොස් සිටියේය. කෙසේ හෝ පොලිස් නිලධාරින්ට තොරතුරක් ලැබුණේ එම ප්‍රදේශයේ තවත් පුද්ගලයන් කිහිප දෙනෙක් සමඟ ඉරෝෂ් ටොයෝටා සෙල් මොඩලයේ වෑන් රථයක් කුලියට ගෙන මීට දින කීපයකට පෙර ප්‍රදේශයෙන් පලා ගිය බවයි. එම තොරතුරුකරුගෙන් එම රථයේ ලියාපදිංචි අංකයද ලබා ගැනීමට විමර්ශන නිලධාරින්ට හැකි විය.

එසේම මෙම කණ්ඩායම දැඩිව මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටි බවත් පොලිසියට අනාවරණය විය. ලූණුවත්තෙන් පලා ආ ඉරෝෂ් ඇතුළු කණ්ඩායම කොළඹ අවට බෝඩිමක නතර වී කොළඹ අවට සැරිසරන බවට සැලවීමත් සමඟ විමර්ශන නිලධාරිහු එම කණ්ඩායම සොයා පාණදුර, ගල්කිස්ස ආදි ප්‍රදේශ ගණනාවක විමර්ශන සිදු කළහ. ඒ අතරේ විමර්ශන නිලධාරින් සීසීටීවී කැමරාවන්හි සටහන් වූ පුද්ගලයන් පැමිණි වාහනයේ අංකය සහ පුද්ගල ඡායාරූපද තොරතුරුකරුවන් වෙත ලබා දුන්නේ එම පුද්ගලයන් දුටු මොහොතේම තමන්ට දන්වන ලෙස පවසමිනි.



ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරින්ට තොරතුරුකරුවකුගෙන් වැදගත් තොරතුරක් ලැබිණි. ඒ අදාළ වාහනය කොළඹ, තොටළඟ ප්‍රදේශයේ නවතා ඇති බව සඳහන් කරමිනි.

“සර්... අර වාහනේ තියෙනවා... ඒකේ ආපු කෙනෙක් ගෙදරකට ගියා... මත්කුඩු වගයක් ගන්න... තව කෙනෙකුත් ඉන්නවා... දැන්ම ආවොත් අල්ලගන්න පුළුවන්...“

එම තොරතුර ලැබුණේ පසුගිය 30 වැනිදාය. ඒ අනුව දින 20ක් පමණ පොලිසියට කට්ටි පනිමින් සිටි ප්‍රධාන සැකකාර ඉරෝෂ් සහ තවත් පුද්ගලයකු එදින දහවලේ අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරිහු සමත් වූහ. ඒ, සොරකමට පැමිණි වෑන් රථය සහ අවන්හලෙන් සොරකම් කරන ලද මැණික් ගල් 16ක් සමඟිනි. ඊට අමතරව හෙරොයින් ග්රෑම් 10ක්ද ඔවුන් සතුව තිබී පොලිසිය බාරයට ගැනිණි.

අත්අඩංගුවට පත් ‘ඉරෝෂ්‘ එම අවන්හලේ සේවයට පැමිණ ඇත්තේ රියැදුරකු ලෙසිනි. දැඩි සේ මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටි ඔහු එහි සේවය කරද්දී දුටුවේ අවන්හලෙහි මැණික් වෙළෙඳාමද සිදුවන ආකාරයත් එම මැණික් අවන්හලේ සේප්පුවක අසුරා තිබෙන ආකාරයත්ය. එලෙස සේවය කරන සමයේදී ඔහු හොර රහසේ අවන්හලේ දොරක යතුරක්ද කපාගෙන තිබිණි. අනතුරුව මාස හතරක පමණ කාලයක් සේවයෙන් පසු ඔහු ඉවත්ව යන්නෙ මීට මාස හයකට පමණ පසුවය.

ලූණුවත්ත ගම් ප්‍රදේශයට ගිය ඔහු සිය මිතුරන් හයදෙනෙකුද මැණික් සොරකම ගැන දැනුවත් කරමින් සියලු දෙනා සමඟ ඊට අරඅඳින්නෙ වෑන් රථයක්ද කුලියට ගනිමිනි. ඒ අනුව පිරිස සමඟ ඉකුත් ජූලි මස 08 වැනිදා රාත්‍රියේ ඉරෝෂ් කොළඹ එන්නේ වෑන් රථයෙනි. ඒ වන විට අවන්හල වසා තිබිණි. පිරිස මුහුණු ආවරණ සමඟ අවන්හලට ඇතුළුවී තිබුණේ තාප්පයෙන් පනිමිනි. ඉරෝෂ් සේවය කරන සමයේදී කපාගත් හොර යතුරෙන් අවන්හලට ඇතුළුවී පිරිස සමඟ එක්ව සේප්පුව උස්සාගෙනවිත් වෑන් රථයට පටවාගෙන ගොස් තිබුණේ නැවත ලූණුවත්ත ප්‍රදේශයටය. ඔවුන් සොරකම සිදුකර යද්දී අවන්හලෙහි දොර තිබූ පරිදිම වසා දමා යෑමටද සූක්ෂ්ම වී තිබිණි.

පොලිස් විමර්ශන ආරම්භ වීමත් සමඟ ඉරෝෂ් ඇතුළු පිරිස සොයා විමර්ශන නිලධාරින් ලූණුවත්තට ඒමට පෙර පිරිස පලා ගියේ සේප්පුව කපා එහි තිබූ මැණික් ගල් ප්‍රමාණයක්ද රැගෙන කොළඹ ප්‍රදේශයටය. ඒ සොරකමට පැමිණි වෑන් රථයෙන්මය. එසේ පිරිස පලා යද්දී සේප්පුව ලූණුවත්තෙ නිවෙසක වළ දමා ගියේ කිසිවකුටත් හසු නොවන ලෙසිනි.

කොළඹට පැමිණි පිරිස ගල්කිස්ස ප්‍රදේශයේ බෝඩිමක නතරව තැනින් තැනට ගොස් මැණික් ගල් විකුණමින් ලද මුදලින් මත්ද්‍රව්‍ය පානය කර තිබුණේ අතදිගහැර වියදම් කරමිනි.

එසේ එම පිරිස කොළඹ සැරිසරමින් සිටියදී ඉකුත් 30 වැනිදා ඉරෝෂ් සමඟ එක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමත් සමඟ කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරින් විසින් පසුගිය අගෝස්තු දෙවැනිදා ලූණුවත්තට ගොස් වළ දමා තිබූ සේප්පුව සොයාගත්තේ එහි තිබූ මැණික් ගල් 180ක් සමඟය. ඉන් අනතුරුව සොරකමට අදාළ ක සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින් සමත් විය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වාගේ උපදෙස් මත ස්ථානාධිපති ඇනස්ලම් සිල්වාගේ මෙහෙයවීමෙන් සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක ආර්.එල්.ආර්. මධුරංග ඇතුළු උපපොලිස් පරීක්ෂකවරුන් වන බණ්ඩාර, ප්‍රියමන්ත, සැරයන්වරුන් වන 57241 උපුල්, 51237 බණ්ඩාර, කොස්තාපල්වරුන් වන 73011 සමන්, 74400 ජනිත්, 91691 චතුරංග, 3122 උදයංග, 1117 මධුමාල් සහ 97143 ජයලාල් යන නිලධාරිහු වැඩිදුරටත් විමර්ශන සිදු කරති.


අමිල මලවිසූරිය