wasantha-mudalige-police

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් මත පෙරටුගාමී පක්‍ෂයේ  නුගේගොඩ පිහිටි පක්‍ෂ මූලස්ථානයට ඊයේ (29 දා) පෙරවරුවේ පැමිණි පොලිස් කණ්ඩායම් දෙකක් එම කාර්යාලය දැඩි පරික්‍ෂාවට ලක් කර ඇත.

ඊයේ පෙරවරු 7.30ට පමණ මිරිහාන පොලිසියෙන් බව කියමින් නිල ඇඳුම් ඇඳගත් එක් නිලධාරියකු සහ සිවිල් ඇඳුම් ඇඳගත් නිලධාරීන් පිරිසක් මෙම පක්‍ෂ මූලස්ථානය වෙත පැමිණ එය පරික්‍ෂාවට ලක් කර ඇත.

පරික්‍ෂා කිරීමේ වරෙන්තුවක් නොමැතිව පැමිණ පක්‍ෂ කාර්යාලය පරික්‍ෂා කිරීම නිසා පෙරටුගාමී පක්‍ෂයේ සාමාජිකයන්ගේ දැඩි විරෝධය පොලිසිය වෙත එල්ල විය.



පසුව එම නිලධාරීන් පිරිස පිටව ගොස් ඇති අතර පසුව නිල ඇඳුම් ඇඳගත් නිලධාරීන් තිස්දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් එහි පැමිණ පක්‍ෂ මූලස්ථානය පරික්‍ෂාවට ලක් කර ඇත.

වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුව පොලිසිය විසින් පක්‍ෂ මූලස්ථානයේ සිටි පෙරටුගාමි පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසට පෙන්වා ඇත.

පැයකට ආසන්න කාලයක් තිස්සේ පක්‍ෂ මූලස්ථානය පරික්‍ෂා කළ පොලිස් නිලධාරීන් එහි සිටි පක්‍ෂ සාමාජිකයන්ගේ නම් ගම් විස්තර සටහන් කරගෙන පිටව ගොස් තිබේ.
දුමින්ද නාගමුව මහතා මෙසේ කියා සිටියේය.
“මේ අය කරන්නේ මානසික මෙහෙයුමක්. අරගලකරුවන්ට වෙන්නේ මේකයි කියන්න තමයි පක්‍ෂ කාර්යාලවලට කඩා පනින්නේ. මේ මානසික මෙහෙයුම කරන්නේ පොහොට්ටු පක්‍ෂයේ නිදාගෙන ඉන්න පිරිස් අවදි කරවන්න.


ඊළඟ මැතිවරණයට අවශ්‍ය පසුබිම හදාගන්න. ආරක්‍ෂක අංශ යොදවලා භීෂණයක් දාලා මේක තමයි කරන්න හදන්නේ.
ඒ වගේම මෙහෙම පොලිස් නිලධාරීන් ඇවිත් අපේ භූමියේ ආයුධ දාලායන්න පුළුවන්. ඊට පස්සේ එන නිලධාරීන් අපි ළඟ ආයුධ තියනවා කියලා අල්ලන්න පුළුවන්. ඉතිහාසයේ ඒ වගේ දේවල් වෙලා තියෙනවා.
අපි සන්නද්ධ අරගලයක ඉන්නවා කියලා මේ අයට පෙන්වන්න අවශ්‍යතාව තියනවා.
මේ අය හදාගෙන එන පිටපතට අනුව අපේ පක්‍ෂයේ අය ආයුධත් එක්ක අල්ලලා ඇතුළට දාන්න හදන්නෙ. පක්‍ෂයට එරෙහිව විශාල මර්දනයක් ගෙනියන්න හදනව. මේකට තමයි මේ අය එන්න හදන්නේ. අපට ඒ පිටපත පැහැදිලියි. අපි ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා මේකට විරුද්ධව.
වෘත්තීය සමිති නායකයන් මුණ ගැහෙනවා. ඒ වගේම තානාපතිවරුන් දැනුවත් කරනවා. මේ අය කරන්න හදන මර්දනය ගැන අපි හැමෝම දැනුවත් කරන්න කටයුතු කරනවා“