weyangoda-train-incident
කොළඹ සිට කන්කසන්තුරය බලා ඉකුත් 22 වැනිදා රාත්‍රි ධාවනය වෙමින් තිබූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ දුම්රිය මැදිරියක් තුළදී පහර දීමක් හේතුවෙන් එහි ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි දුම්රිය ආරක්ෂක හමුදාවේ නියාමක සැරයන්වරයකු වන පනස් දෙහැවිරිදි දෙදරු පියෙකු වන ෂර්ලි ලක්ෂ්මන් දිසානායක මහතා මැදිරියෙන් පිටතට විසිවී මිය යාම සම්බන්ධව පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී එම අවාසනාවන්ත සිද්ධිය විස්තර ඇතිව හෙළිදරව් විය.



වායු සමනය කළ මැදිරියේ සිටි කුඩා ළමයින් ඇතුළු මගීන්ගේ ආරක්ෂාව පිණිස අපි බිමත් මගින් දෙදෙනා වෙනත් මැදිරියකට රැගෙන යාම සඳහා බලවත් පරිශ්‍රමයක් දරා ස්වයංක්‍රීය විදුරු දොරෙන් එළියට ගත්තා ඒ සමගම දුම්රිය භෝජනාගාර සේවකයකු බවට ප්‍රකාශ කළ පුද්ගලයා ආරක නිලධාරි දිසානායක මහතාට පයින් ගැහැව්වා. ඒ එක්කම දිසානායක මහතා මැදිරියෙන් පිටතට විසි වුණ යැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ ආරක්ෂක නිලධාරියකු වන ජේ.ඒ. ලලිත් පෙරේරා මහතා පෙරේදා 26 වැනිදා පස්වරුවේ අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වර්ගය ඉදිරියේ ප්‍රකාශ කළේය.

වේයන්ගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුනිල් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීම යටතේ පෙරේරා මහතා මෙසේද කීය.  

දුම්රිය ආරක්ෂක හමුදාවට අනුයුක්තව ආරක්ෂක නියාමකවරයකු වශයෙන් සේවය කරනවා. එදා 22 වැනිදා උදේ 08 සුපුරුදු පරිදි සේවයට වාර්තා කර කාර්යාල රැකවල් රාජකාරියේ යෙදී සිටියා. පස්වරුවේ මා දුම්රිය රැකවරණ රාජකාරියට සම්බන්ධ කෙරුවා. ඒ අනුව එදින රාත්‍රි ගල්කිස්ස සිට කන්කසන්තුරය බලා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ දුම්රිය ආරක්ෂක නියාමක සැරයන් ෂර්ලි ලක්ෂ්මන් දිසානායක මහතා සමග සේවයට සම්බන්ධ වුණා.

එම දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් රාත්‍රි 10 ට කන්කසන්තුරය බලා ධාවනය ආරම්භ කළා. එය දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල නවතා මගීන් ගොඩ කර ගැනීමෙන් පසුව රාත්‍රී 10.20 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණියා. එය නැවත රාත්‍රී 10.30 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළා. අපි දුම්රිය මැදිරි පරීක්ෂා කිරිම්ද සිදු කළා. එම දුම්රියේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීම් සිදු කරන නිලධාරීන් දෙදෙනකු ද සිටියා. දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානය පසුවනවාත් සමගම වාගේ ප්‍රවේශ පත්‍ර පරික්ෂාවේ යෙදී සිටි නිලධාරීන් දෙදෙනා අප ළඟට ඇවිත් ප්‍රවේශ පත්‍ර නොමැති බීමත් දෙදෙනකු කෑකෝ ගසනවා ගිහින් බලන්න කිව්වා. එම දැනුම් දීමට අනුව මමත් මිය ගොස් ඇති නිලධාරියාත් ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන නිලධාරින් දෙදෙනා සමග එම මැදිරියට ගියා. ඒ අවස්ථාවේ දෙදෙනකු බීර පානය කරමින් සිටියා. බීර බෝතලයක් හා ලොකු ප්‍රමාණයේ බීර ටින් එකක් ඔවුන් සන්තකයේ තිබුණා.

මේ අවස්ථාවේ දුම්රිය තුළ මත්පැන් පානය තහනම් නිසා මත්පැන් පානය නවත්වන්න කියා අපි කිව්වා. මේ අවස්ථාවේ ඔවුන් දෙදෙනා අපට පරුෂ වචනයෙන් බැන වැදී තර්ජනය කෙරුවා. එක් පුද්ගලයකු කිව්වා ඔහු දුම්රිය භෝජනාගාරයක සේවය කරනවා අනිත් පුද්ගලයා ඔහුගේ මස්සිනා ඔහු හමුදාවේ සේවය කරනවා කියලත් කිව්වා. ඔවුන් අනුරාධපුරය බලා යන බවද කිවා. ඔවුන් දෙදෙනාට ප්‍රවේශ පත්‍ර නොමැති බවට ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමේදී හෙළි  වී තිබීමත්, බීමතින් කෑගැසීම් කරන නිසාත් මැදිරියෙන් පිටතට ගැනීමට තීරණය කොට දෙදෙනා බලවත් පරිශ්‍රමයක් දරා වායුසමනය කරන ලද එම මැදිරියෙන් එළියට ගත්තා. අපි ඔවුන් දෙදෙනා ස්වයංක්‍රීය වීදුරු දොරෙන් පිටතට ගත්තා දෙපස ඇති මගීන් ඇතුළු වන හා පිටවන දෙපස දොරවල් දෙක වැසීමට තීරණය කෙරුවා. මොවුන් දෙදෙනා දිගින් දිගටම පරුෂ වචනයෙන් බැන වැදී අපට පහර දෙන්න උත්සාහ ගත්තා.

මේ අවස්ථාවේ මිය ගොස් ඇති දිසානායක මහතා වම් පස දොර ළඟටත් මම දකුණු පස දොර ළගටත් ගියා. ඒ එක්කම ටී ෂර්ට් එකක් ඇඳගෙන හිටපු භෝජනාගාර සේවකයා යැයි කියූ පුද්ගලයා එක පාරටම දිසානායක මහතාට පයින් ගැහැවිවා. එම පහරට දිසානායක මහතා දුම්රියෙන් එළියට විසි වුණා.මේ සමගම දුම්රිය නවත්වා ගැනීම සඳහා මම දුම්රිය උප නියාමක මැදිරිය දෙසට දිව ගියා. ඒ සමගම උප නියාමක මහතා අප දෙසට ඉදිරියෙන් ආවා. උප නියාමක මහතා ප්‍රධාන නියාමක මහතාට දුරකතනයෙන් කිව්වා. ඒ අනුව දුම්රිය මීරිගම දුම්රිය ස්ථානයේ නැවැත්තුවා. ටික වෙලාවකින් මීරිගම පොලීසියේ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ මගීන්ගේ රැකවල් යටතේ දුම්රිය මැදිරියේ සිටි එම දෙදෙනා අත්අඩංගුවට අරගෙන මීරිගම පොලීසියට රැගෙන ගියා.

මේ සිද්ධිය මම දුම්රිය ආරක්ෂක අධිකාරිතුමාට දුරකතනයෙන් දැනුම් දුන්නා. මමත් මීරිගම පොලීසියට ගිහින් කෙටි ප්‍රකාශයක් දුන්නා. ටික වේලාවකින් දුම්රිය ආරක්ෂක අධිකාරිතුමාත් මීරිගම පොලීසියට ආවා. ඊට පසුව අපි වාහනයෙන් වදුරවට ගියා. වදුරව දුම්රිය ස්ථානයේ සිට මීටර් සීයක් පමණ දුරකින් දිසානායක මහතා මුනින් අතට වැටී මිය ගොස් ඇති බව දැක ගන්නට ලැබුණා. එම ස්ථානයට වේයන්ගොඩ පොලීසියේ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ මගෙන් කට උත්තරයක් ලබා ගත්තා. පොලිස් පරික්ෂකවරයාගේ මෙහෙයවීම යටතේ මරදාන දුම්රිය වාණිජ අධිකාරි කාර්යාලයට අනුයුක්ත ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරයකු වන සමන්ජිත් ප්‍රනාන්දු මහතා සාක්කි දෙමින් මෙසේ කියා සිටියේය.

එදා 22 දෙවැනි දා සුපුරුදු පරිදි මම උදේ 06 ට සේවයට වාර්තා කළා. එදා දිවා කාලයේ දුම්රිය ස්ථානවල මගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කළා.එදා රාත්‍රී ගල්කිස්ස සිට කන්කසන්තුරය බලා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ ප්‍රවේශ පත්‍ර පරික්ෂා කිරිම්වලට ප්‍රවේශ පත්‍ර පරික්ෂක හේමචන්ද්‍ර මහතා සමග සේවයට සම්බන්ධ වුණා. ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් රාත්‍රි 10ට පමණ දුම්රිය පිටත්වුණා. දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල දුම්රිය නවත්වා රාත්‍රි 10.20 ට පමණ කොටුව දුම්රිය ස්ථානයට පැමිණියා. කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රි 10.30 ට පමණ කන්කසන්තුරය දක්වා දුම්රිය පිටත්වුණා. ඊට පසුව මමත් හේමචන්ද්‍ර මහතාත් ඉංග්‍රීසි අක්ෂර අනුව දුම්රිය මැදිරිවලට ගිහින් ප්‍රවේශ පත්‍ර පරික්ෂා කිරීම ආරම්භ කළා. මම ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කර ගෙන යද්දී දෙනෙක් ප්‍රවේශ පත්‍ර නොමැතිව හිටියා. ඔවුන් දෙදෙනා බීමතින් තමයි හිටියේ. මේ අවස්ථාවේ මම හේමචන්ද්‍ර මහතාට දුරකතන ඇමතුමක් දීලා සිද්ධිය කිව්වා.

ප්‍රවේශ පත්‍ර නොමැති වීම හේතුවෙන් රුපියල් 8000 ක දඩයක් ගෙවිය යුතුයි කියල අපි කිව්වා. ඒ අවස්ථාවේ රුපියල්  8600 ක් නෙමෙයි රුපියල් 20,000 ක් හරි ගෙවන්නම් කියල එක පුද්ගලයෙක් කිව්වා. ඔහු දුම්රිය භෝජනාගාර සේවකයකු බවත් අනෙක් පුද්ගලයා යුද හමුදාවේ ඉන්න ඔහුගේ මස්සිනා බවත් කිව්වා. මේ පිළිබඳව ඔවුන් දෙදෙනා බාධා කිරීම් කළා. මොවුන් දෙදෙනා දුම්රියෙන්  බස්සවන්න ඕනෑ කියලා මම කිව්වා. මේ අවස්ථාවේ හේමචන්ද්‍ර මහත්තයා දුම්රිය ආරක්ෂක හමුදාවේ දෙන්නට අතින් කතා කළා. ඒ දෙන්නා ආවට පස්සේ ප්‍රවේශ පත්‍ර නොමැතිව බීමතින් හිටපු දෙන්නා ඒ ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට බාර දුන්නා.

මිය ගොස් ඇති දිසානායක මහත්තයත් අනිත් නිලධාරි මහත්තයත් ඔවුන් දෙදෙනා මැදිරියෙන් පිටතට ගන්න උත්සාහ කළ අවස්ථාවේ අපි බොනවා තමයි පුළුවන් දෙයක් කරපල්ලා කියලා ඔවුන් දෙදෙනා කෑ ගැහැව්වා. ඊට පසුව ආරක්ෂක හමුදාවේ නිලධාරීන් දෙදෙනා බලවත් පරිශ්‍රමයක් දරා ස්වයංක්‍රීය වීදුරු දොරෙන් ඔවුන් දෙදෙනා එම මැදිරියෙන් පිටතට ගත්තා. මම මේ අවස්ථාවේ ප්‍රවේශ පත්‍ර නොමැති දෙන්නා බැස්ස විය යුතු නිසා උපනියාමක මහත්තයට දෙන්න මැසේජ් එකක් ලියල දෙන්න කියලා හේමචන්ද්‍ර මහත්තයට කිව්වා. ඒ සමගම මගියෙක් දුව ගෙන ඇවිත් ඔය ගොල්ලගෙ එක් කෙනෙකුට පයින් ගහල දුම්රියෙන් බිමට වැටුණා කියල කිව්වා. දැන ගන්න ලැබුණා දිසානායක මහත්තයට තමයි ගහල වැටිලා තියෙන්නේ කියල. උපනියාමක මහත්තයත් ආවා. උපනියාමක මහත්තය දුරකතනයෙන් ප්‍රධාන නියාමක මහතාට සිද්ධිය කිව්වට පස්සේ දුම්රිය මීරිගම දුම්රිය ස්ථානයේ නැවැත්තුවා.

ටික වෙලාවකින් මීරිගම පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ මගීගේ රැකවල් යටතේ සිටි දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ගියා. අපි නැවත කන්කසන්තුරය බලා පිටත් වුණා. අපි නැවත 24 වැනිදා ආපසු ආවා. මුද්‍රා කර තිබූ දුම්රිය මැදිරිය පොලිස් නිලධාරීන් පරික්ෂා කළා. දෙමටගොඩ දුම්රිය අංගනයේ දී මැදිරියේ ඇගිලි සලකුණු පරීක්ෂා කළා, ඊට පසුව මම වේයන්ගොඩ පොලීසියට ගොස් ප්‍රකාශයක් ලබා දුන්නා. එම සාක්කියෙන් පසුව මරණ පරීක්ෂණයේ සාක්ක අවසන් කළ මහේස්ත්‍රාත් වරිය වෛද්‍ය වාර්තාව හා දෙන ලද සාක්කි අනුව සහාසික ක්‍රියාවක් හේතුවෙන් සුෂුම්නාවට හා සිරුරට බරපතළ හානි සිදු වී මරණය සිදු වී ඇති බවට තීරණය කොට ලඝු නොවන නඩු විභාගයක් පවත්වා ගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙන හෙයින් ඒ පිළිබඳව පියවර ගන්නා ලෙසට වේයන්ගොඩ පොලීසියට නියෝග කළාය. මරණ සහතිකය මිය ගොස් ඇති නිලධාරියාගේ භාර්යාවට හෝ භාර කරුවකුට මුදාහරින ලෙසටද අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළාය.

 -ආනන්ද ඉ. ජයකොඩි-
 

පෙර ලිපිය
බේබදු ප්‍රහාරයෙන් දුම්රියෙන් එළියට විසිවී මරු දුටු නිලධාරියා