weyangoda-train-incident

ඉන්ධන අර්බුදයත් සමග රටේ ප්‍රධානම ගමන් මාධ්‍යක් බවට පත්ව ඇත්තේ දුම්රියය. වියදම හා කාලය අවමවීම හේතුවෙන් සෑම දුම්රියක්ම පාහේ ඇත්තේ මගීන්ගෙන් පිරී ඉතිරී ගොස්ය. කොළඹ කොටුව සිට කන්කසන්තුරෙයි බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියද මගීන් බොහෝ පිරිසක් ප්‍රවාහන අවශ්‍යතාව ඉටුකර ගන්නා දුම්රියක්ය. මෙම දුම්රිය සිකුරාදා දිනවල කොළඹ කොටුවෙන් පිටත්වන අතර යළි කන්කසන්තුරෙන් පිටත් වන්නේ ඉරිදා රාත්‍රියේය. පසුගිය 22 වැනිදා රාත්‍රි 10.23ට මෙම දුම්රිය කොළඹ කොටුවෙන් පිටත් වූයේ දහසකට අධික පිරිසක් රැගෙනය. 

වේයන්ගොඩ ප්‍රදේශයේදී එල්. එල්. දිසානායක නම් දුම්රිය ආරක්ෂක නියාමක සැරයන්වරයා මියගියේ මෙම දුම්රියේ ගමන් ගත් බීමත් මගීන් දෙදෙනෙකුගේ ප්‍රහාරයට ලක් වීමෙනි. එල්. එල්. දිසානායක ගම්පහ, ඉහළ යාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි දෙදෙරු පියෙකි.

පසුගිය සිකුරාදා නිවසින් පිටත් වූ ඔහු තම සේවා ස්ථානය වන කොටුව දුම්රිය ස්ථානයට වාර්තා කළේ එදින රාත්‍රියේ කන්කසන්තුරය දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ආරක්ෂක කටයුතු සිදු කිරීමටය. දක්ෂ නිලධාරියෙකු වන ඔහු සෑම දෙනෙකුටම ඉතා කරුණාවන්ත අයෙකු වූයේය. දුම්රිය දෙපාර්තමේන්තුව පවරන ඕනෑම රාජකාරියක් දේවකාරියක් සේ ඉටු කිරීමට දිසානායක කටයුතු කළේය. රාජකාරියට අමතරව ඔහුට දුම්රිය දෙපාර්තමේන්තුව වෙනත් තනතුරුද පිරිනමා තිබිණි.

ඔහු දුම්රිය ආරක්ෂක නියාමකවරයෙකු මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ නායකත්වයද දැරුවේය. එමෙන්ම ඔහු දක්ෂ ලීඩ් ගිටාර් වාදකයෙකි. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ගබඩාවේ භාරකරු වූයේද දිසානායකය. පාසල් ජීවිතය නිම වීමෙන් පසුව 1988දී ආරක්ෂක නිලධාරියෙක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට බැඳුනු හෙතෙම වසර 37ක් පුරාවටම දුම්රිය දෙපාර්තමේන්තුවට මහඟු සේවයක් ඉටු කළේය.



ඔහු කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ගමන් ගන්නා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට ගොඩවූයේ සිකුරාදා රාත්‍රි 10.00ටය. එදින ඔහු සමග තවත් නිලධාරියෙකුද කන්කසන්තුරේ දක්වා ගමන් ගන්නා මෙම නගරාන්තර දුම්රියේ ආරක්ෂාව භාරව කටයුතු කළේය. ඊට අමතරව ටිකට් පරීක්ෂකවරු දෙදෙනෙක්ද මෙම දුම්රියෙහි ගමන් කළහ. සිකුරාදා රාත්‍රියේ දහයට ගමන ආරම්භ කර දුම්රිය මරදාන, කැලණිය, රාගම පසුකරමින් ඉදිරියට ඇදෙන්නට විය. මේ අතර දුම්රිය ටිකට් පරීක්ෂක නිලධාරීහු මගීන්ගේ ටිකට් පත් පරීක්ෂා කළහ. මැදිරියෙන් මැදිරියට ටිකට් පරීක්ෂා කරමින් ගමන්ගත් නිලධාරීන් දෙදෙනාට එක් දුම්රිය මැදිරියක මත්පැන් පානය කරමින් ඉතා අශෝභන ආකාරයෙන් හැසිරෙන පුද්ගලයින් දෙදෙනෙක් ඇස ගැටිණ. මගීන්ට හිරිහැරයක් වෙන ආකාරයෙන් හැසුරුණු මෙම දෙදෙනා පිළිබඳව දුම්රිය ආරක්ෂක නියාමකවරුන් දැනුවත් කිරීමට නිලධාරීහු වහාම පියවර ගත්හ.

එම දැනුවත් කිරීම මත එතැනට අනෙක් ආරක්ෂක නිලධාරියාත් සමග පැමිණි දිසානායක දුම්රිය මැදිරියේ මත්පැන් පානය නොකරන්නැයි අදාළ පුද්ගලයින් දෙදෙනාට අවවාද කළේය. මෙය සිදුවෙන විට දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ පැවතිණි. නිලධාරියාගේ උපදෙස්වලට අවනත නොවූ පුද්ගලයින් දෙදෙනා නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් ගැටුමකට සැරසිණි. තත්ත්වය පාලනය කිරීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් දෙදෙනා කටයුතු කළද මෙම පුද්ගලයන් දෙදෙනාගේ නොමනා හැසිරීම ඉතාමත්ම දරුණු තත්ත්වයට පත්විය. ඉතාම අසභ්‍ය වාග් ප්‍රහාරයන් ගෙන් දුම්රිය ආරක්ෂක නියාමකවරුන්ට බැන වැදුණු මෙම පුද්ගලයින් දෙදෙනා නිලධාරීන්ට පහර දීමට උත්සහ කළේය.


බීමත්ව නොසන්සුන් ආකාරයෙන් හැසිරුණු මෙම පුද්ගලයින් තමන්ට කොතෙකුත් බැන වැදුනද ඔවුන් වේගයෙන් ගමන් ගන්නා දුම්රියෙන් ඉවතට විසිවේ යැයි සිතුණු නිසා දුම්රිය ආරක්ෂක නිලධාරීන් දුම්රියේ විවෘත කර තිබුණු දොරටු වැසීමට උත්සාහ කළේය. ඒ අනුව දුම්රියේ දකුණු පස දොරටුව වැසීමට නිලධාරීන් සමත් වූ අතර වම්පස දොරටුව වැසීමට උත්සාහ කිරීමේදී බමන මතින් අසභ්‍ය වචනයෙන් බැන වැදුණු මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු දුම්රිය ආරක්ෂක නියාමක සැරයන් දිසානායකට වැරෙන් පහරක් එල්ල කළේය. මෙම ප්‍රහාරය හේතුවෙන් පැයට කිලෝ මීටර් 70ක පමණ වේගයෙන් ගමන් කරමින් තිබූ දුම්රියෙන් පිටතට දිසානායක විසිවී ගියේය.



සිදුවීම බලාසිටි මගීන්ගේ ග්‍රහණයට ලක්වූ මෙම පුද්ගලයින් දෙදෙනාට එල්ලවූයේ දැඩි විරෝධයක් සමගින් ගුටි බැට පූජාවක්ය. මේ අතර මගීහු පොලිස් හදිසි දුරකථන අංක 119ට දැනුම් දුන්නේ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ඇරබි කන්කසන්තුරේ දක්වා ගමන් ගන්නා දුම්රියේ දී ආරක්ෂක නිලධාරීන්ට පුද්ගලයින් දෙදෙනෙකු පහර දී ඇති බවය. පහර දුන් පුද්ගලයින් දෙදෙනා තමන් සන්තකයේ සිටින බවත් ඔවුන් පොලිසියට භාර දීම සඳහා මීරිගම දුම්රිය ස්ථානයට පැමිණෙන ලෙසත් දැන්වීය. එම දැනුම් දීම අනුව මීරිගම දුම්රිය ස්ථානයට පැමිණ සිටි මීරිගම පොලිසියේ නිලධාරීන්ට මෙම පුද්ගලයින් දෙදෙනා දුම්රිය මගීන් විසින් භාර දෙන ලදී. දුම්රියෙන් එළියට විසිවූ දිසානායකට කුමක් සිදුවුණිද යන්න සොයා ගැනීම ඊළඟ කාර්යය විය.


දුම්රිය පාලක මැදිරිය විසින් ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය රියදුරන්ව සිද්ධිය ගැන දැනුවත් කිරීමට පියවර ගත්තේය. ඒ අනුව රාත්‍රි ගමන්ගත් දුම්රියක රියැදුරෙකුට වේයන්ගොඩ, වඳුරඹ දුම්රිය ස්ථානයත් කීනවල දුම්රිය ස්ථානයක් අතර වඳුරඹ දුම්රිය ස්ථානයට මීටර් 100 පමණ දුරින් තොප්පියක් වැටී තිබෙනු දක්නට ලැබී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ සෙවීම් කණ්ඩායම් දිසානායකගේ තොප්පිය හඳුනාගත් අතර එහි අවට පරීක්ෂා කිරීම් කටයුතු සිදු කෙරිණි. මෙම ස්ථානය වගුරු බිමක් වන අතර වගුරු බිම පරික්ෂා කිරීමේදී මඩේ එරී තිබුණු දිසානායකගේ නිසල දේහය සොයා ගැනීමට හැකි විය. අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ශශිකා ලක්මාලි දිසානායක ඉදිරියේ දේහය ගොඩට ගත් අතර එම ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයද පැවැත්විණ.

දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහල වෙත රැගෙන යෑමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරුවන් වහාම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද ඇය නියෝග කළාය. වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේදී පැවැත්වුණු මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ කොඳු ඇටය කැඩී යෑම නිසා සිදුවූ මරණයක් බවය. සැකකරුවන් දෙදෙනා පරීක්ෂණ කටයුතු සඳහා වේයන්ගොඩ පොලිසියට භාරදෙනු ලැබිණි. ඔවුන් අනුරාධපුර සහ නොච්චියාගම ප්‍රදේශවල පදිංචිකරුන් වේ. ඉන් එක් අයෙකු යුද හමුදා සේවයේ නිරත වන අතර අනිත් තැනැත්තා දුම්රිය ස්ථානයේ කැන්ටිමක් පවත්වාගෙන යන අයෙකු බව පොලිස් පරීක්ෂණ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස දෙවැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
•මනෝජ් එදිරිසිංහ - මීරිගම
•එෆ්. අස්ලම්