son-mother-theft

වයස අවුරුදු 14 හැවිරිදි සිය පුතා සොරකම් කර රැගෙන විත් ලබා දුන් රන් භාණ්ඩ දඹුල්ල සහ කැකිරාව ප්‍රදේශවල පිහිටි රන් භාණ්ඩ උකස් ගන්නා ස්ථානවලට ඒ ගැන දැන දැනම චේතනාන්විතවම විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය  හමුවට



ඉදිරිපත් කළ සැකකාර මව 12 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා ඊයේ (4දා) නියෝග කළේය. මෙසේ රිමාන්ඩ් භාරයට පත් කළේ ගල්කිරියාගම පොලිස් වසමේ පලාගල පදිංචිකාරියකි.

  සැකකාර මව සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ඇගේ 14 හැවිරිදි පුතා පරිවාස රැඳවුම් භාරයට පත්කරන ලෙසට  නියෝග කළ විනිසුරුවරයා දරුවා සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ ජේ‍යෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න  මහතාට වැඩිදුරටත් නියෝග කරනු ලැබීය.

එසේම මෙම රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද විනිසුරුවරයා තවදුටරත් නියෝග කෙළේය.



පොලිසිය සඳහන් කළේ ඒ අයුරින් සොරා ගන්නා රන් බඩු මව විසින් විවිධ ස්ථානවලට මීට පෙරද විකුණා ඇති බවයි. එසේම සැකකාර මව මෙම රන් භාණ්ඩ අලෙවි කර ඇත්තේ සොරකම් කරගෙන විත් ලබාදෙන රන් භාණ්ඩ බවට හොඳාකාරවම දැන දැනම චේතනාන්විතවම බවද පොලිසිය අධිකරණයට කියා සිටියේය. ගල්කිරියාගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සහ අපරාධ විමර්ශන අංශය එක්ව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.