ranil-house-fire

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පස් වැනි පටුමගේ පිහිටි නිවස ගිනි තබා විනාශ කිරීම සිදුවූයේ ඊයේ (9) සන්ධ්‍යා කාලයේය. කෞතුක භාණ්ඩ රැසක් හා වටිනා පුස්තකාලයක්ද තිබුණ මෙම නිවසට ගිනි තැබීම අරගලකරුවන් සිදු කරාද නැතිනම් අරගලකරුවන්ට වරද පටවන්නට වෙනත් පාර්ශ්වයක් සිදු කළාද යන්න ගැන විවිධ අදහස් පළවෙමින් පවතී.
කොළඹ 07 රාජකීය විද්‍යාලයට ඉතා ආසන්නයෙන් පිහිටි පස්වන පටුමගේ රනිල්ට අයත් නිවස ආසන්නයේ පිහිටි නිවෙස්වල සිටින වැඩිදෙනෙකුද රනිල්ගේ ඥාතීන්ය. ඔහු කුඩා කාලයේ රාජකීය විදුහලට ගියේත් පසුව ඉතා ආසන්න කොළඹ විශ්ව විද්‍යාලයට ගියේත් මෙම නිවසේ සිට පයින් ඇවිදගෙන බව කියැවිණි.
පොත් කියවීමට රුචියක් දක්වන රනිල් දිගු කලෙක සිට එකතු කළ විශාල පොත් එකතුවක්ද මෙම නිවසේ පුස්තකාලයක තිබෙන අතර ඇතැම් දුලබ පොත් ඇත්තේ එහි පමණක් බවටද ආරංචි තිබේ.


රනිල් අගමැති පදවිය ලැබුණ අවස්ථාවල මෙම නිවස අතැර අරලියගහ මැදුරට නොගිය අතර බොහෝවිට කළේ අරලියගහ මැදුර කාර්යාලය ලෙස පවත්වාගෙන යමින් මෙම නිවසේ සිට වැඩ කිරීමය. මෑතකාලීනව අගමැති ධූරය ලද පසුවත් ඔහු එසේ කළ අතර කාර්යාලය බවට පත් කරගත්තේ නිවසට ආසන්න මල්පාරේ කාර්යාලයයි.

අරගලකරුවන් සිටිනිසා අරලියගහ මැදුරට ගියේ අඩුවෙනි. රනිල්ට දරුවන් නොමැති නිසා ඔහු පසුකලෙක නිවස උරුම වන්නට ලියා ඇත්තේ සිය පාසල වන රාජකීය විද්‍යාලයටය. රනිල් හා බිරිය මෛත්‍රී මෙම නිවසේ වාසය කළ අතර ඇය කලෙක සිට රෝගී තත්වයේ පසුවන නිසා ඊයේ ගින්න අවස්ථාවේ පවා ඇය එහි සිටියේ නැති බවද පැවසිණි.

මෙම නිවස ගිනි තැබීම ගැන තිබෙන පරස්පර කතා කිහිපයකි. ඊයේ මෙම නිවස ගිනිගන්නට ඉතා ආසන්න වෙලාවේ නිවස ආසන්නයට ආ විරෝධතාකරුවන්ට කඳුළුගෑස් එල්ල කිරීමේ සිදුවීමක් වාර්තා විය. එම අවස්ථාවේ විශේෂ කාර්ය බලකායේ පිරිසක් ඉදිරියට පැමිණ සිරස මාධ්‍යවේදීන් ඉලක්ක කර ප්‍රහාරයක් දියත්කළ අතර පහරදී ඇදවැටුණ අය බේරාගන්නට ගිය අයටත් ප්‍රහාරය එල්ල කර තිබුනේ අමානුෂික ලෙසිනි. සිරස සජිත්ගේ පැත්ත ගනිමින් රනිල්ට එදිරිව කටයුතු කරන්නේ මීට වසර දහයකට පහළොවකට පමණ පෙර සිටය. මේ හේතුවෙන් රනිල්ගේ සොයුරු ශාන්ගේ ටීඑන්එල් නාලිකාවද සජිත්ට ප්‍රසිද්ධියේ විරුද්ධය.


ඊයේ සිරසට එරෙහිව රනිල්ගේ ආරක්ෂක නිලධාරීන් කෙරෙන් මතුවන්නේ මෙම විරසකයයි.

එහෙත් ප්‍රහාරයෙන් පසුව රනිල් ඒ ගැන කණගාටුව පළ කළ අතර එයින් පෙන්නුවේ නියෝගය ඔහුගේ නොවන බවකි. එය ඇත්තදැයි පැහැදිලි නැත. වඩාත් විශේෂ කාරණය නම් මෙකී ප්‍රහාරය සිදුවීමෙන් පසු අරගලකරුවන් ඒ පැත්තට නොයාමයි. ගිනි තැබීම සිදුවන්නේ මෙම නිහඩතාය පැවති අවස්ථාවේය.

එක් වීඩියෝවකින් පෙන්නුම් කරන්නේ ගිනි තබන්නට තරුණයින් පිරිසක් තාප්පයකින් නැග එහා වත්තට පනින හැටිය. එම අවස්ථාවේ ඔවුන් අත ඉන්ධන කෑන් ද තිබේ. ගිනි තැබීම සිදු කරන්නේ ඔවුන් බව පැහැදිලිය. එකී වීඩියෝවට අනුව කලබලකාරී තත්වයක් පෙන්නුම් කළ ආරක්ෂකයින් කිසිවෙකු තාප්පයෙන් පනින අය දකින්නේ හෝ එළවන්නේ නැති බවද වීඩියෝවන් පෙනී යයි.
ආරක්ෂක අංශ බාධාවන් නැතිවීම ඇතැමෙකුගේ සැකයට හේතුවී ඇත.

ටිකකට පසු ගින්න ඇවිළෙන අතර ගිනි ගන්නා අවස්ථාව වනවිට වීඩියෝ කරමින් සිටි අයට තරුණයින් පවසන්නේ වීඩියෝ කිරීම නවතන ලෙසයි. ගින්න කළ අය වීඩියෝ මගින් අල්ලාගනු ඇතැයි යන්න ඔවුන් සිතුවා විය හැකිය.

 ගින්න අවස්ථාවෙහි එම අවට විදුලිය විසන්ධි වීමක්ද වාර්තා විය. මෙලෙස විදුලිය විසංධිවීමක් අදාළ කලාපයේ සිද්ධකරන්නට උපදෙස් නොදුන් බව අද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කර තිබේ.
ගින්න නිවීමට ගිනි නිවන හමුදා රථ පැමිණෙන නමුත් ඒ වනවිට නිවසේ විශාල ප්‍රමාණයක් අළුවී අවසන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාාර්තමේන්තුව පැමිණ මේ වනවිට පරීක්ෂණ අරඹා ඇත. විමර්ශන කණ්ඩායමක් මේ වන විටත් ගිනි තැබූ එම නිවසට ගොස් පරීක්ෂා කිරීම් සිදුකරද්දී සංවිධානාත්මකව සිදුකර බවට සාක්ෂි හමුවී ඇති අතර ඉන්ධන රැගෙන ආ බවට සැකකරන කෑන් එකක්ද එහි තිබී හමුවී ඇත.

මෙම ගිනි තැබීම සිදුවන විට නිවස ඇතුළට කඩාවැදී සිටි පිරිස අතරින් තිදෙනෙක් පොලීසිය හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව අද (10) දහවල් වාර්තා විය.එම සැකකරුවන් අවුරුදු 24ත් 19ත් අතර පසුවන්නන්ය. ඔවුන් ජා-ඇල, ගල්කිස්ස සහ ගාල්ලේ පදිංචිරුවන් බව පොලීසිය සඳහන් කළේය.



ගින්නෙන් නිවසට දැඩි ලෙස හානි වී ඇති අතර මිල කළ නොහැකි පොත් එකතුවක් පැවති පුස්තකාලය ද විනාශ වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන ඡායාරූපයකින් පැවසෙන්නේ රනිල්ගේ පොත් ගොන්නක් මේසයක් උඩ තබා ඇති ආකාරයයි. එහි සටහන් වන්නේ ගින්න හිතාමතා කරන්නට පෙර පොත් බේරාගෙන වෙනත් මේසයකට ගෙන ගොස් ඇති බවය.

අද උදේ නිවස ඇතුළත ලබාගත් ඡායාරූප වල එවැනි බේරාගත් පොත් ගොන්නක් නැත. අළුවී ගිය නිවසේ කැඩුණ ඇඹරුණ ගෘහභාන්ඩ සමග දැවී ගිය ලිපි සටහන් ගොන්නකි.  ඒ අතර පොත්ද තිබේ. පෙර සඳහන් ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නේ ගින්න අවස්ථාවේ බේරාගන්නට උත්සාහ කළ පොත් ගොන්නෙන් කොටසක්ද යන්න තවම පැහැදිලි නැත.

ගින්න සිදුවන අවස්ථාවේ 5 වන පටුමග අවට විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසා ඇති අතර සභාපති ජනක රත්නායක සඳහන් කර ඇත්තේ ඊයේ (09) පස්වරු 6.00න් පසු කොළඹ ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීමක් සිදුකිරීමට සැලසුම් කර නොතිබූ බවත් මෙම නියෝගය දුන්නේ කවුරුන්ද යන්න සොයන බවත්ය.
ඊයේ දවස පුරා පැවති අරගලය ප්‍රචණ්ඩකාරී එකක් බවට කිසිදු තැනක චෝදනා මතු නොවූ නමුත් මෙම සිද්ධිය බොහෝ අය ප්‍රචණ්ඩ එකක් මෙන්ම අරගලකරුවන් නොකළ යුතුව තිබූ එකක් ලෙස හෙළා දැක තිබුණි.
සමහරු කියා තිබුනේ මෙය අරගලකරුවන් වරදේ පටළන්නට සංවිධානාත්මකව කරන්නට ඇති බවකි. ඊට ආසන්න උදාහරණයකින් පැවසුනේ මිරිහානේ බස්රථය ගිනිගැනීමයි.

අද උදෑසන ලබාගත් නිවස ඇතුළත ඡායාරූප එකතුවක් පහත පරිදිය.