president-flag-sarong

කොටුව ජනාධිපති මන්දිරයට ඉකුත් 9 වැනිදා ඇතුළු වූ පිරිස් අතර සිටි පුද්ගලයකු එම මන්දිරය තුළ සවිකර තිබූ ජනාධිපතිවරයාගේ නිල කොඩිය සොරාගෙන  ගොස් ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.   කිසියම් පුද්ගලයකු මෙම කොඩිය සරමක් ආකාරයෙන් ඇදගෙන යන අයුරු එහි සී.සී.ටී.වී. කැමරාවල පටිගත වී ඇති බවත්, එම දර්ශන අනුව විමර්ශන සිදුකරන බවත් පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම කොඩිය, එහි අමුත්තන් හමුවන ප්‍රධාන ශාලාර්වේ ජාතිය කොඩිය සමග සවිකර තිබූ බවද එම ආරංචි මාර්ග කියයි. මේ අතර, ජනාධිපති මන්දිරයට ඇතුළුවී සිටි පිරිස් විසින් එහි තිබූ පෞරාණික භාණ්ඩ 100 කට අධික ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති බවට දැනට සිදුකරන විමර්ශනවල දී හෙළිව ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීවේය. කොඩි, ඡායාරූප, සමරු තිලිණ, විසිතුරු භාණ්ඩ, කොඩි කණු, ඓතිහාසික ඡායාරූප ඇතුළු ඓතිහාසික භාණ්ඩ රැසක් මේ අතර වන බවද එම නිලධාරියා සඳහන් කළේය.



මෙම භාණ්ඩ හඳුනා ගැනීම සදහා එහි සේවකයන් කැඳවා එහි සී.සී.ටී.වී. කැමරා දර්ශන පෙන්නුම් කරමින් පරික්ෂණ සිදුකරන බවද, පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පිරිස ජනාධිපති මන්දිරයට ඇතුළුවී එහි ගොඩනැගිල්ලට හා භාණ්ඩ රැසකට හානි කර ඇති බවත්, ඇතැමුන් බුලත් කා එහි බිත්තිවලට බුලත් කෙළ ප්‍රහාර එල්ල කොට විනාශ කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි. ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට මූලික වී ක්‍රියා කළ පුද්ගලයන් 100 දෙනකුට අධික පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

(ඉන්දිකා රාමනායක)