migration-jobs

ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලාංකිකයන් 150,000 කට අධික පිරිසක් ඉකුත් ජනවාරි මස සිට මේ දක්වා කාලය තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ

මෙම වසරේ ජනවාරි මස සිට මේ මස පළමු සතිය දක්වා කාලය තුළ පුද්ගලයන් 156,179 දෙනෙකු රැකියා සඳහා විදේශගතව ඇති බවය.ඉන් පුද්ගලයන් 100,767 දෙනකු ඔවුන්ගේ පෞද්ගලික මාර්ගවලින් ද, පුද්ගලයන් 55,411 ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රය සහිතව ද පිටත්ව ගොස් ඇති බව එම කාර්යාංශය සඳහන් කරයි.

මෙම පිරිසෙන් වැඩි දෙනකු මැදපෙරදිග රටවලට පිටත්ව ගිය බව කියන විදේශ සේවා නියුක්ති කාර්යාංශය තවත් පිරිසක් දකුණු කොරියාව සහ ජපානය ආදී රටවලටද පිටත්ව ගොස් ඇති බව කියයි.

කුවේට්වලට පුද්ගලයන් 39,216 දෙනකු, කටාර් රාජ්‍යයට 36,229 දෙනකු,සෞදි අරාබියට 26,098 දෙනකු, දකුණු කොරියාවට 3,219 දෙනකු සහ ජපානයට 2,570 දෙනකු මෙසේ පිටත්ව ගොස් ඇති බව එම කාර්යාංශය සඳහන් කරයි. පසුගිය ජුනි මස පමණක් පුද්ගලයන් 27,937 දෙනකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවත් ඉන් 18,083 දෙනකු ලියාපදිංචි වී ගොස් ඇති බවත් එම කාර්යාංශය සඳහන් කරයි.