kolonnawa-fuel-vip

රට තුළ විශාල ඉන්ධන අර්බුදයක් ඇති වී ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටියදී කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ පවතින ඉන්ධන පොම්ප දෙකක් මගින් දේශපාලනඥයන් හා දේශපාලන හිතවතුන්ට අසිමීත ලෙස ඩීසල් හා පෙට්‍රල් ලබාදෙන බව තෙල්, විදුලිය, වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. 



මෙම පොම්ප දෙක සවිකර තිබෙන්නේ සංස්ථාවේ වාහන සඳහා ඉන්ධන ලබාදීමට බවත්, පසුව සංස්ථා සේවකයන්ගේ වාහනවලටද මෙම ස්ථානයෙන් ඉන්ධන ලබාදීම සිදු වූ බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය. මේ වනවිට දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් හා ආණ්ඩුවට හිතවත් වෘත්තීය සමිති නියෝජිතයන් අසීමිත ලෙස මෙම ස්ථානයෙන් ඉන්ධන ලබාගනිමින් සිටින බවත්, එහෙත් දින ගණනක් පෝලිම්වල සිට ලබාගන්නා ටෝකන් එකට ඉන්ධන ලබාගැනීමටත් ජනතාවට තවත් දින ගණනාවක් බලා සිටීමට සිදුව තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

අත්‍යවශය රාජකාරි කටයුතු සඳහා බව පවසමින් මෙම ක්‍රියාව සිදුකරන බවත්,

යම් අත්‍යවශ්‍ය සේවාවක් සඳහා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබාදීම සඳහා පොලිස් ගරාජයේ ස්ථාපිත කර තිබෙන ඉන්ධන පිරවුලෙන් ඉන්ධන නිකුත් කළ හැකි බවත් ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළේය. එසේ නොකර අසීමිත ලෙස මේ ආකාරයට ඉන්ධන නිකුත් කිරීම පෝලිම්වල සිටින ජනතාවට සිදුකරන දැඩි අසාධාරණ ක්‍රියාවක් බවත්, පෝලිම්වල සිටින ජනතාවට පවා හිමි වන්නේ, සීමිත ඉන්ධන ප්‍රමාණයක් බවත් හෙතෙම පැවසීය.  මීට අමතරව පසුගිය 23වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 සඳහා තෙල් සංස්ථාව විසින් ඩොලර් මිලියන 42.5 මුදලක් රාජ්‍ය බැංකුවකට ගෙවා තිබෙන බවත්, එහෙත් අදාළ නැව මෙතෙක් නොපැමිණි බවත් ආනන්ද පාලිත මහතා පවසා සිටියේය. අදාළ මුදල ඉන්ධන නැවකට මෙතෙක් ගෙවා නොමැති නම්, ඒ පිළිබඳ බලධාරීන් වහාම රටට හෙළි කර අදාළ මුදලට සිදු වූ දෙය ගැන ජනතාවට ප්‍රකාශයක් සිදුකළ යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.



මෙම මුදල් තවමත් රාජ්‍ය බැංකුව තුළ තිබෙනවා නම්, මෙම මුදල උපයෝගී කර ගෙන නීත්‍යනුකූල ආකාරයට ඉන්ධන නැවක් මිලදී ගන්නා ලෙසට බලධාරින්ට යෝජනා කරන බවද ආනන්ද පාලිත මහතා සඳහන් කළේය. 2012 වසරේදී බොරතෙල් මෙට්‍රික්ටෝන් තිස්දහසක ප්‍රමාණයක් මිලදී ගැනීමට ඩොලර් මිලියන 30ක් ගෙවූ බවත්, එහෙත් අදාළ බොරතෙල් තොගය හෝ අදාළ මුදලට සිදු වූ දෙයක් ගැන මෙතෙක් සඳහනක් නොමැති බවත් හෙතෙම පැවසීය.මීට අමතරව චීනයෙන් කාබනික පොහොර තොගයක් මිලදී ගැනීම සඳහා පසුගිය දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවූ බවත්, මෙතෙක් පොහොර ලැබී නොමැති බවත් ආනන්ද පාලිත මහතා පවසා සිටියේය.


( ඉන්දික හේවාවිතාරණ)