july-09-protest

ජුලි 09 වනදා පවත්වන්නට සූදානම් කළ කොළඹට පැමිණ විරෝධතා දැක්වීමේ දැවැන්ත අරගලයට ආසන්නයේ 08 වනදා රාත්‍රී 8 ට පමණ පොලිසිය නිවේදනය කළේ අරගලය පවත්වන ස්ථාන වලට ඇතුළුවීමට නොහැකි ලෙස ඇදිරි නීතිය පැනවූ බවයි.


පොලිසිය මගින් මෙම නීති පැනවීම සිදුකරන්නේ අධිකරණය මගින් අදාළ අරගලය පැවැත්වීමට එරෙහිව ලබාගන්නට ගිය නියෝග ප්‍රතික්ෂේප වීමෙන් පසුවය. එනම් නීතිමය අවහිරයකට බැරිව ගිය නිසා 'තුරුම්පු' පාවිච්චි කිරීමක් ලෙසිනි.


මෙම ක්‍රියාව රටේ නීතිය උල්ලංඝනය කරන්නක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ. සභාපති නීතිඥ සාලිය පීරිස් සදහන් කරන්නේ මෙම ඇදිරි නීති පැනවීම මානව හිමිකම් උල්ලංඝනයක් මෙන්ම ප්‍රජාතන්ත්‍රය විනාශ කිරීමක් බවයි. මෙම ක්‍රියාමාර්ග මගින් ඉදිරි දිනවල බරපතල ප්‍රතිවිපාක අත්කරගන්නට සිදුවනු ඇතැයිද අනතුරු අගවා තිබේ.

මේ අතර අරගලයේ නිරත කණ්ඩායම් හුවමාරු කරගන්නා ට්විටර් පණිවිඩ කිහිපයකින්ම මෙම බාධාව ගණනකට නොගෙන හෙට දිනයේ අරගලය සැලසුම් කළ ආකාරයට පවත්වන බව දන්වා තිබේ.
ගෝටාගෝහෝම් අරගලය නිසා අවස්ථා දෙකකදි පොලිස් අත්අඩංගුවට පත්වූ අනුරුද්ධ බන්ඩාර ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ 'ඇඳිරි නීතිය නිසා කිසිම සැලසුමක් වෙනස් කර නැත. බලාපොරොත්තුවූ ආකාරයටම විරෝධතාව පැවැත්වේ' යනුවෙනි.


මෙම අරගලය සෙනසුරාදා පැවැත්වෙන ආකාරය ගැන ක්‍රියාකාරී සැලැසුමක් සකස් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් හමුවීමට ඔවුන් අද සවස ගිය බවද ඊට පෙර තැබූ සටහනක ඔහු සදහන් කර ඇත.
මේ අතර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ට්විටර් පනිවිඩයක් තබමින් සඳහන් කර ඇත්තේ
'ඒ ගොල්ලන්ට අමතක වෙලා අන්තිම වතාවෙත් කර්ෆියු දැම්මත් මොකද වුනේ කියලා' යනුවෙනි.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් අද(08) රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත් කොට ඇති පොලිස් ඇඳිරිනීතිය වැන්නක් දැමීමට නීත්‍යානුකූලව පොලිස්පතිට කිසිඳු බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතාද අවධාරණය කර තිබේ. ෆොන්සේකා මහතා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් මේ බව සදහන් කර සිටියි.
අද 08 දින අරගල භුමියට එක්වූ අන්තර් විශ්ව විද්‍යාල විරෝධතා කරුවන් මේ වනවිටත් රැය පහන් කරමින් හෙට දින විරෝධයට සූදානමින් සිටින බවද වාර්තා විය.
නීතීඥ සංගමයේ නිවේදනය පහතින්