පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නිකුත් කළ නිවේදනයක් අනුව අද (08) රාත්‍රී 9.00 සිට බලපැවැත්වෙන පරිදි යළිත් දැනුම් දෙන තුරු මීගමුව, කැලණිය සහ නුගේගොඩ, ගල්කිස්ස පොලිස් කොට්ඨාස මෙන්ම කොළඹ උතුර, දකුණ සහ මධ්‍යම පොලිස් කොට්ඨාස වෙත පොලිස් ඇඳිරිය ක්‍රියාත්මක වෙන බව දන්වා ඇත.


එහෙත් ඒ පිළිබඳව විමසීමේ දී නීතිඥ උපුල් කුමාරප්පෙරුම සඳහන් කරන්නේ එවැන්නක් මෙරට නීතිය තුළ නොමැති බවයි.


“පොලිස් ඇඳිරි නීතිය කියා දෙයක් අපේ නීතියේ නැහැ. පොලිස්පතිවරයා අද නිකුත් කළ නිවේදනය මෙරට නීතියට පටහැනිව නිකුත් කළ එකක්. එම නිසා ඒ අනීතික නියෝගය ඉවත්කරගත යුතුයි“ ඔහු පවසයි.
මීට සමාන අදහස් ශ්‍රී ලංකා නීතීඥ සංගමය හා ජනපති නීතීඥ සුමන්තිරන් පළ කළ නිවේදන වල දැක්වෙයි.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්දිරන් මහතා  “කොළඹ හෝ ආසන්න ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය දාලා තියන බවට ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. නීතියේ පොලිස් ඇඳිරි නීතිය කියලා මොනවත් නෑ. මහජන ආරක්ෂක පනත යටතේවත් ඒවගේ පොලිස් ඇඳිරි නීතිය කියලා එකක් නෑ. ඒ නිසා ඒ ප්‍රකාශනයේ වලංගුතාවයක් නෑ. මේ ආණ්ඩුව කරන්නෙ හෙට දවසෙ ජනතාව මේ අරගලයට එන එක වළක්වාගන්න තමයි මේ නීතීවිරෝධී ක්‍රියාව කරන්නෙ. ඒ නිසා හැමෝම දැනගන්න ඕනෙ ඒ වගේ පොලිස් ඇඳිරි නීති කියලා නීතියේ මොනවත් නෑ”
මේ අතර සජබ නායක සජිත් ප්‍රේමදාස කොළඹ නගරයට සහ තදාසන්න ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය සම්බන්ධයෙන් සිය ටිව්ටර් ගිණුම හරහා අදහස් දක්වමින්   මෙසේ  කියා සිටියේය.
‘මෙය වංචනික ඇඳිරි නීතියක්. නීත්‍යානුකූලභාවයක් එහි නැහැ. බය නැතිව හෙට පාරට බහින්න. ඒකාධිපතිවාදය පරාජය කොට රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් ලබා ගැනීමට සැවොම එක්ව කටයුතු කළ යුතුයි.‘
පසුගියදා විපක්ෂයෙන් ඉවත් වී ආණ්ඩුව සමග එකතු වූ හරින් ප්‍රනාන්දු මහතා මෙසේ කියා සිටියි.



‘අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හෙට දිනයේදී ගාලු මුවදොර “ගෝටා ගෝ ගම” පරිශ්‍රය අවට සංවිධානය කර තිබූ දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කඩාකප්පල් කිරීම සදහා අනීතිකව පනවන ලද පොලිස් ඇදිරි නීතිය මා දැඩිලෙස පිලිකුලෙන් යුතුව හෙලා දකිමි.
මා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉල්ලීම පරිදි එතුමාගේ ආණ්ඩුවට එක්වූයේ ජනතා අභිලාෂයන්ගෙන් බිදක් හෝ මාහට මේ මොහොතේ කල හැකිනම් ඒ කාර්‍යයය කිරීම වෙනුවෙන් පමණි.එනම් මේ ව්‍යසනය පරාජය කිරීමට මිසක් කිසිම කෙනෙකු රැක ගැනීමට නොවේ.
අපි එක්ව අරගලය ජයග්‍රහණය කරමු. එලෙසම ව්‍යසනයද පරාජය කරමු”

ඇඳිරි නීතිය පැනවීම හරහා රජය ජනතා ගැටලුවලට විසඳුම් සොයනවා වෙනුවට මර්දනකාරී පිළිවෙතකට අවතීර්ණ වීමට සූදානම් බව පෙන්නුම් කෙරෙන බව අද රාත්‍රි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

වත්මන් රජයට තවදුරටත් රට පාලනය කළ නොහැකි බව සහ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාගේ පාලනය අසාර්ථක පාලනයක් බවට පෙන්නුම් කෙරෙන බවත් ජනතාවගේ ප්‍රශ්ණවලට විසඳුම් සොයනවා වෙනුවට ඔවුන් මර්දනකාරී පිළිවෙතකට අවතීර්ණ වීමට සූදානම් බව ඇඳිරි නීතිය පැනවීම හරහා පෙන්නුම් කෙරෙන බවත් ඔහු කීය.

රජයකට පැවරෙන ප්‍රධාන වගකීමක් වන්නේ ජනතාව රැක බලාගෙන ඔවුන්ගේ මූලික අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම මිස ජනපති අගමැති තනතුරු ටික රැකගන්නට තිබෙන සියලු නීති පනවාගෙන රජයක් පවත්වා ගැනීම නොවන බවත් එවැන්නකින් ඵලක් නොවන බවත් ඔහු කීවේය.