jackson-anthony-situation

සෝමරත්න දිසානායක මහතාගේ ‘සිංහබාහු‘ චිත්‍රපටයේ රූගත කිරීමකට සම්බන්ධ වී වාහනයක ගමන් කරමින් සිටියදී වනඅලි ප්‍රහාරයකට ලක්වූ ප්‍රවීණ සිනමා නළු ජැක්සන් ඇන්තනි තවමත් අසාධ්‍ය තත්වයේ පසුවේ.ඔහුට සුවය පතා මේ වනවිට විවිධ ආගමික වතාවත්ද කලාකරුවන් සිදුකරමින් සිටී.
ඔහු අනතුරින් පසු කොළඹට රැගෙන විත් ශල්‍යකර්ම කිහිපයකට බඳුන්කර ඇති අතර ස්නායු ශල්‍යකර්ම සිදුකර ඇති නිසා ඔහුගේ තත්වය සුව අතට හැරීම ප්‍රමාද වන බව හෝ සුවය ලබන ස්වරූපය අවිනිශ්චිත වන බව වෛද්‍යවරු පවසා තිබේ.
අනතුරින් පසු ජැක්සන් ඇන්තනී මහතා සැලකිය යුතු මට්ටමකින් සුවය ලබා සිටි අතර නැවත වරක් සිහිසුන්ව ඇති බවත් මේ වන විට ස්වසන යන්ත්‍ර පද්ධතියක ආධාරයෙන් ප්‍රතිකාර ලබාදෙන බවත් ඔහුගේ තත්වය රූපවාහිනියට විස්තර කරමින් සිනමාවේදී සෝමරත්න දිසානායක මහතා පැවසීය.



සාකච්ඡාවකට එකතු වෙමින් සෝමරත්න දිසානායක මහතා මෙසේ කීය.

“ශල්‍යකර්මයට පස්සේ ජැක්සන්ට සිහිය ආවා.ඔහු මා එක්ක කතා කළා. මගේ චිත්‍රපටිය ගැනත් කතා කරා. එක සම්පූර්ණ කතාවක් නෙමෙයි.ඔහු පුළුවන් විදිහට කතා කළා. එහෙන් මෙහෙන් බට ගහලා නිසා ජැක්සන්ට හරියට කතා කර ගන්න බැරි වුණා. මම ඒ වෙලාවේ කිව්වේ මට ඉන්නේ එක සිංහයයි ඒ සිංහයා නැගිටලා එනකම් මම බලාගෙන ඉන්නවා කියලයි. ඒ වෙලාවේ ජැක්සන්ගේ ඇස් දෙකට කඳුළු ආවා මාත් මගේ කඳුළු පාලනය කරගෙන හිටියා. මට තියෙන ප්‍රශ්නෙ තමයි එච්චර හොඳට සිහිය ආපු ජැක්සන්ට ආයෙ සිහිය නැතුව ගියා.දැනට ජැක්සන් සිහිසුන්ව තමයි ඉන්නේ.දැනට ඔහු හුස්ම ගන්නේ ස්වසන යන්ත්‍ර ආධාරයෙන්.ඒක ඒ තරම් සුව තත්ත්වයක් කියලා අපි හිතන්නේ නැහැ”