The-person-who-stole-the-former-presidents-flag-and-used-it-as-a-bed-sheet
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිල ධජය ජනපති මන්දිරයෙන් සොරකම් කරගෙන ගොස් පසුව තම නිවසේ ඇඳ ඇතිරිල්ලකට යොදා ඒ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක්ද පළ කරතිබූ පුද්ගලයකු අද පොලිසියට භාර වී තිබෙයි.
පසුගියදා සිදුවූ ජන අරගලයෙන් පසු ජනතාවට නිදහසේ ජනපති මන්දිරයේ සැරිසැරීමට තිබූ අවස්ථාව අවභාවිත කරමින් මෙම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිලධජය සොරකම් කරගෙන ගොස් තිබුණි.


නව ජනපති රනිල්ගේ ආගමනයෙන් පසු අරගල කරුවන්  ඇල්ලීමේ හා බඩු සොරකම් කළ අය ඇල්ලීමේ පොලිස් මෙහෙයුම් ඇරඹූ අතර
ධජය සොරකම් කළ අය ගැන පරීක්ෂණ ඇරඹූ බව දන්වා තිබුණි.
ඒ අනුව ඒ වනවිටත් ධජය සොරකම් කරගෙන සිය ක්‍රියාව වීරත්වයට නංවමින් වීඩියෝද පළ කර තිබූ මෙම සොරකම කළ අය පොලිසිය අල්ලන්නට පෙර භාරවී තිබේ.
උදේනි කළුතන්ත්‍රී නමැති මෙම‍ෙ පුද්ගලයා නීතිඥයෙකු මාර්ගයෙන් අද (29) උදෑසන වේල්ලවීදිය පොලිසියට පැමිණ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ධජය ඇඳ ඇතිරිල්ලට යොදා මේ දක්වා එහි නිදමින් සිටි සැකකරු වරාය ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන අයෙකු බවත්
සමගි ජන බලවේගය වරාය වෘත්තීය සමිතියේ හිටපු සභාපතිවරයා බවත් වාර්තා විය.


මොහු ධජය සොරකම් කිරීමෙන් පසු මන්දිරයේ ඉහළ සිට එය සමග ලබාගත් ඡායාරූපයකුත් , ධජය සරමකට ඇඳගෙන හෙල්මට්ටුවකුත් දමාගෙන පාරේ ඇවිදින ඡායාරූපයකුත් මින් ඉහත සමාජ මාධ්‍ය තුළ සැරිසැරූ අතර පසුව ඔහු ඇඳ ඇතිරිල්ලට එය යොදාගෙන වීඩියෝවක්ද කර තිබුණි.
පොලිසිය පවසන්නේ ජනපති ධජයට ඔහු නිගරු කළ නිසා අත්අඩංගුවට ගත් බවයි.