dollar-doctor-issue

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍යවරුන් විදෙස් ගත කිරීම තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් පශ්චාත් වෛද්‍ය උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය සේනක රාජපක්ෂ දැනුවත් කොට ඇත.



එසේ වුවද වැටුප් සහිත රැකියාවක් සමග විදේශ පුහුණුව සඳහා පිටත්ව යන වෛද්‍යවරුන්ට කිසිදු බාධාවක් නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.
එසේම විදේශීය වෛද්‍ය පුහුණුව සඳහා යාමට ගුවන් ටිකට් පත් ලබාගත් වෛද්‍යවරුන්ට එම මුදල් ඉදිරි දිනයකදී යළි ගෙවීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය දැනුම් දීමක් කරයි.

පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය සේනක රාජපක්ෂ මේ සම්බන්ධව අදහස් දක්වමින් කියා සිටින්නේ ඉදිරියේදී කඩිනමින් මෙම ගැටලුව විසඳීමට බලාපොරොත්තු වන බවය.



මේ අතර මෙරට බදු මුදල් ගෙවනජනතාව වෙත නිදහස් සෞඛ්‍ය සේවාව වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම ලෙස ලබාදීම වෙනුවෙන් පශ්චාත් වෛද්‍ය උපාධිය හදාරන වෛද්‍යවරුන්විදේශීය වෛද්‍ය පුහුණුව යැවිම තාවකාලිකව අත්හිටුවිමෙන් ඉදිරි වසර වලදි විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් මෙරට තුළ නිර්මාණය විය හැකි බව පිළිබද වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමිල් සංජීව පවසයි.
(වරුණි පෙරමුණ-aruna)