homagama-murder

කසිප්පු පෙරීමට ගන්නා දඟරයක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක දී බීමතින් සිටි පුද්ගලයකුට මුගුරකින් පහරදී ඝාතනය කළැයි කියන පුද්ගලයකු හෝමාගම සුවපුබුදුගම ප‍්‍රදේශයේදී ඉකුත් 16 වැනිදා අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.   මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම, පිටිපන දකුණ, දහම් මාවතේ පදිංචි මාතරගේ දොන් සුමිත් චන්දන ප්‍රේමතිලක නමැති වයස අවුරුදු 49 ක දෙදරු පියකු බවද පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා ඉකුත් 13 වැනිදා සැකකරුගේ නිවස ඉදිරිපිටට ගොස් කසිප්පු පෙරීමට ගන්නා දඟරයක් ඉල්ලා ඇති බවත් එහිදී ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් සැකකරු මියගිය පුද්ගලයාට කිතුල් පොල්ලකින් පහර දී ඇති බවත් පොලීසිය එම ස්ථානයේ සිදුකළ මූලික පරික්ෂණවල දී අනාවරණය වී ඇත.

පහර කෑමට ලක් වූ පුද්ගලයා අධික බීමතින් සිටීම නිසා එම අවස්ථාවේ වේදනාවක් දැනී නොමැති බවත් එම නිසා ඔහු රෝහල් ගත වී නොමැති අතර ඉකුත් 16 වැනිදා එම පුද්ගලයා නිවසේදීම මියගොස් ඇති බවත් පොලීසිය පවසයි. එම ස්ථානයට පැමිණි හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පත්මසිරි ජයවර්ධන මහතා මහේස්ත්‍රාත් පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුබෝවිල මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර පහර දීමෙන් මියගිය පුද්ගලයාගේ ඉල ඇටවලට ඇති වූ හානිය හේතුවෙන් පෙනහළුවලට ලේ ගැලීම නිසා මෙම මරණය සිදු වී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.


-ප්‍රියන්ත ජයලත්-