garment-closer

ඉන්ධන අර්බුදය සහ විදුලි කප්පාදුව හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇගලුම් කම්හල් 200ක් පමණ කඩා වැටීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි. මහා පරිමාණ ඇගලුම් කම්හල් බොහොමයක් ඩොලර් ගෙවා සිපෙට්කෝ සහ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලින් ඩීසල් ලබා ගත්තද සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල්වලට සාමාන්‍ය ඉන්ධන පිරිවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමේදී දවසේ බරපතළ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් ආයතන සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා  පැවැසීය.බොහෝ අවස්ථාවලදී ඔවුනට ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබෙන තත්වයක් පවතින බවද ඔහු සඳහන් කළේය.



ප්‍රධාන පෙළේ මහා පරිමාණ ඇඟලුම් කම්හල් සිය ඇඟලුම් නිෂ්පාදන ඇණවුම්වලින් යම් කොටසක් නිෂ්පාදනය සඳහා උප කොන්ත්‍රාත්කරුවන් වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇගලුම් කම්භලට බාර දෙන හෙයින් එම ඇඟලුම් කම්හල් අකමණ්‍යවීම මහා පරිමාණ කර්මාන්තවලටද ලොකු බලපෑමක් ඇතැයි ඒකාබද්ධ ඇගලුම් ආයතනය සංසදය පවසයි. මේ අතර ඇඟලුම් කම්හල නිලධාරින්ට සහ සේවකයන්ට සිය පෞද්ගලික වාහනවලින් පැමිණීමේ අවස්ථාව පෙට්‍රල් හිඟය නිසා බොහෝ දුරට අහිමිවීමෙන් ඇඟලුම් කම්හල්වල කාර්ය සාධනයට එය විශාල බලපෑමක් වී ඇතැයි එම කම්හල් හිමිකරුවෝ පවසති.

මේ තත්වය සැලකිල්ලට ගෙන සිය සේවකයන් ප්‍රවාහනය සඳහා පෙට්‍රල් කෝටාවක් ලබාදෙන්නැයි සිපෙට්කෝ ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් දැනටමත් කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති. විදුලිය කප්පාදුව නිසා විදුලි උත්පාදක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් මහා පරිමාණ මධ්‍ය පරිමාණ, සුළු පරිමාණ ඇඟලුම් කම්සලට ඒ සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇති හෙයින් ඒ තත්වය එම ආයතනවල ආදායමට අහිතකර ලෙස බලපා ඇති බව දැනගන්නට ඇත.

මේ අතර ඇඟලුම් නිෂ්පාදන ආයතනවලට විදේශවලින් ලැබෙන ඇණවුම් රටේ පවතින අර්බුදය හේතුවෙන් වෙනත් රටවලට හැරී යෑමේ අවදානමක්ද මතුව ඇතැයි ඇඟලුම් කම්හල් හිමියෝ පවසති.

මෙම තත්වය මග හරවා ගැනීම සඳහා ඇණවුම්කරුවන් සමග සාකච්ඡා පවත්වමින් ඇණවුම්කරුවන් සමග සාකච්ඡා පවත්වමින් විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.  මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ඇගලුම් ක්ෂේත්‍රය කඩා වැටීම වැළැක්වීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රශ්න එක මේසෙකට ගෙන සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් මේ මොහොතේ පැන නැගී ඇති බවද ඇගලුම් කම්හල් හිමියෝ රජයට පෙන්වා දෙති.


 - සුජිත් හේවාජුලියගේ -ලංකාදීප