france-sri-lanka-illegal-migrants

ප්‍රංශයට යැවීමට යැයි පවසා මඩකළපුවෙන් රැගෙන ආ කාන්තාවන්, පිරිමින් හා දරුවන්ගෙන් යන් විසිපස් දෙනකුගේ කණ්ඩායමක් මාරවිල හාල්පන්විල ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැගෙන සිටියදී ඉකුත් 02 වැනිදා දහවල් අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසයි. මඩකළපුවේ සිට කාන්තාවන් පස් දෙනකු, පිරිමින් දස දෙනකු සහ අවුරුදු 17ට අඩු ළමුන් දස දෙනකු ද මෙහි සිට ඇති අතර මාසයක, මාස තුනක, අවුරුද්දක, අවුරුදු හතරක හා අවුරුදු පහක දරුවෝ ද ඒ අතර වුහ.

මොවුන් ඉකුත් ජුනි 24 වැනිදා එක් වාහනයකින් මඩකළපුවේ සිට මගට ගෙන අවුත් එහි රියැදුරු රුපියල් ලක්ෂ දෙක බැගින් මුදල් ලබාගෙන වෙනත් වාහනයක රියැදුරකුට බාරදී මාරවිලට මෙම පිරිස රැගෙන විත් මෙලෙස රඳවනු ලැබ ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මොවුහු ලක්ෂ පහළොවකට ප්‍රංශයට යවන බව මඩකළපුවේ ජාවාරම්කරු පවසා රුපියල් ලක්ෂ දෙක බැගින් අත්තිකාරම් ලබාගෙන ප්‍රංශයට ගිය පසු ඉතිරි ල 13 ලබාදෙන ලෙසට ගිවිසුම් ගත කරනු ලැබ සිටියහ. මෙහි සිටි ඇතැමකු පොලිසියට පවසා ඇත්තේ ඕස්ට්‍රේලියාවට යැවීමට පැමිණ ඇති බව යැයි ද පොලිසිය කියයි. මොවුන්ට ඉකුත් දෙවනදා වෙනතුරුත් මාරවිල චීන අවන්හලක් ලෙස පවත්වාගෙන ගිය ලැගුම්හලේ ආහාරපාන සපයා තිබූ අතර ජාවාරම්කරු පිළිබඳව කිසිදු තොරතුරක් හෝ සම්බන්ධතාවක් මොවුන්ට නොතිබූ බව මෙම පිරිස පවසා ඇතැයි පොලිසිය කියයි.

ලැඟුම්හල් හිමියා පවසන්නේ කිසියම් පුද්ගලයකු මොවුන් නැවත වාහනයකින් රැගෙන යාමට එනතුරු ආහාරපාන සපයන ලෙසට මුදල් ලබාදී ගිය බවත් ඔහු තමන් නොහඳුනන බවත්ය.

 - හිරාන් ප්‍රියංකර ජයසිංහ