air-force-game-madness

පැහැරගෙන ගස් බැඳ මරා දමන්නට උත්සාහ කළේ යයි කියන ගුවන් හමුදා සෙබළෙකුගේ අපූරු ‘රංගනයක්‘ ගැන වාලච්චනේ ප්‍රදේශයෙන් වාර්තාවේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකළපු කඳවුරට අනුයුක්තව සේවය කරනු ලැබු  මෙම කෝප්‍රල්වරයා වාලච්චේන, රිදීතැන්න ප්‍රදේශයේ ගසක බැඳ සිටියදී ඊයේ (28) දින උදෑසන ප්‍රදේශවාසින් විසින් දැක වාලච්වේන පොලිසියට දැනුම් දීමෙන් පසු රෝහල් ගතකර තිබුණි.

එම ස්ථානයේ තිබී දමිළ භාෂාවෙන් ලියන ලද පුවරුවක් ද පොලිසිය මගින් සොයාගත් අතර එම පුවරුවේ “කෲර දේශපාලනයට උදවිකරන ගැත්තන් මේ විදියට තමයි මරණයට පත්කරන්නේ” යනුවෙන් සටහන් කර තිබී ඇත.

බැලුබැල්මට කිසියම් පිරිසක් සිදු කළ කරදරයක් යයි මේ ගැන නිරීක්ෂණය කරන්නෙකුට පෙනී යන නමුත් සිදුව ඇත්තේ වෙනත් දෙයකි.

මේ පිළිබඳ වාලච්චේන පොලිසිය මගින් විමර්ශනයක් ආරමිභ කළ අතර එහි දි සෙබලා පවසා ඇත්තේ තමා නිවාඩු ගොස් ආපසු එමින් සිටියදී තමාව වෑන් රථයකින් පැහැරගෙන ගොස් අත් පා ගැට ගසා ගසක බැඳ පහර දී මරා දමන්නට උත්සාහ කළ බවයි.


තොරතුරු වල තිබූ පරස්පර විරෝධීභාවය හේතුවෙන් අසල තිබු දමිළ භාෂාවෙන් ලියූ පුවරුව පිළිබඳවද සැකයක් මතු වූ අතර එය ලියා ඇත්තේ දෙමළ භාෂාව සම්බන්ධ නිසි දැනුම නොමැති පුද්ගලයෙකු බව වැටහී ගොස් ඇත.
විමර්ශනය අනුව මෙම ක්‍රියාව ඔහු විසින්ම සිදු කර ඇති බවට සැක පහළවී ඇති අතර දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීමේදී එය ඔහු කළ ව්‍යාජ රංගනයක් බව පිළිගෙන ඇත.

මෙම ගුවන් හමුදා කෝප්‍රල්වරයා අන්තර්ජාලයේ පරිගණක සූදු ක්‍රීඩාවට දැඩිලෙස ඇබ්බැහි වී සිට ඇති අතර ඔහු ඒ සඳහා වරින්වර ණයවෙමින් ගේම් ගසා ඇත. ඇතැම් අවස්ථාවල කඳවුරේ සහෝදර ගුවන් භටයින්ගෙන්ද මුදල් ලබාගෙන ඇත.
නැවත එම මුදල් ලබා දීමට අපොහොසත් වීම නිසා පළමුව සියදිවි නසා ගැනීමට අදහස් කර තිබූ  ඔහු පසුව අදහස වෙනස් කරගෙන තිබේ.
තමන් සියදිවි නසා ගතහොත් ගුවන් හමුදාවෙන් තම බිරිඳට ලැබෙන දීමනා නොලැබෙන බැවින් ඔහු තමන්ගේ සියලු වස්තුව කොල්ලකන ලද ආකාරයට ව්‍යාජ රංගනයක නිරතවී ණයකරුවන්ගේන් සහනයක් ලබාගැනීමට මෙම ක්‍රියාව තනිව සැලසුම් කර සිදුකර තිබේ.
ඔහු වැරදියට දෙමළ බසින් පුවරුව ලියා තමාම තමා ගැටගසාගෙන ඇති බවද පාපොච්චාරණය කර ඇත.

මේ වන විට මෙම කෝප්‍රල්වරයා වාලචිචේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



මෙහිදි ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රතිරූපයට සිදුවු හානිය වෙනුවෙන් මෙම කෝප්‍රල්වරයා හට ගුවන් හමුදා නීතියට අනුව ඉදිරියේදී නීත්‍යානුකූලව කටයුතු කිරිමට නියමිතව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කර සිටියේය.