devinuwara-case

මිට වසර 22 කට ඉහත දී නඩු විභාගයකට සහභාගි වීම සඳහා යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයකට වඩී තබා පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ දකුණේ ප්‍රකට හෙරොයින් මත්කුඩු ජාවාරම්කරුවකු ලෙස ප‍්‍රසිද්ධ දෙවිනුවර කුඩු චමිල් නමැත්තා ඇතුළු සය දෙනකුට මාතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා ඊයේ (30) මරණ දඬුවම නියම කළේය.  එම නඩුවේ විත්තිකරුවෝ පස් දෙනෙක් නිදහස් කරනු ලැබීය. එසේ මරණ දඬුවම නියම වුයේ දෙවිනුවර නාරාතොට හේවගේ තමිල් අජිත් කුමාර නොහොත් කුඩු චමිල්, මද්දුම පටබැඳිගේ සුමිත් කුමාර, සවුන්ද්‍ර හැන්නදිගේ චමින්ද, අබේරත්න මාගම්පත්තු මහ විදානගේ නාමල්, අබේරත්න වීරසේකර ,පටබැඳිගේ රොෂාන් දිල්රුක්ෂ, අබේරත්න වීරසේකර පටබැඳිගේ නිශාන්ත යන සය දෙනාටය.



2000 වසරේ නොවැම්බර් මස 14 දින හෝ ඊට ආසන්න දිනයක දී ඔවුන් දෙවිනුවර ඔරලෝසු කණුව ඉදිරිපිට දී වෑන් රථයකට වෙඩි තබා පස් දෙනෙකු ඝාතනය කර ඇති බවට නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකර තිබුණි.  මෙම පංච පුද්ගල ඝාතනයට විත්තිකරුවන් 15 දෙනකු නම් කර තිබු අතර නඩු විභාගය අතරතුර දී ඔවුන්ගෙන් සිව්දෙනෙක් මිය ගියෝය. එසේ මියගොස් ඇති සිව්දෙනා වන්නේ අබේරත්න වීරසේකර පටබැඳිගේ ලාල්, මහ සරුක්කාරගේ කරුණාසේන,

අබේරත්න වීරසේකර පටබැඳිගේ ප්‍රේමලාල් හා මහ  සරුක්කාරගේ සම්පත් යන අයයි. නිශාන්ත ඒකනායක නොහොත් දෙයියන්දර  ඒකනායක, අබේරත්න වීරසේකර පටබැඳිගේ සුමිත්, අබේරත්න වීරසේකර පටබැඳිගේ ගාමිණි, හේවා කොළඹන්ගේ උපුල් හා අබේසිරිවර්ධන ආගම්පොඩි මුහන්දිරම්ගේ සමන් ප්‍රදීප් යන විත්තිකරුවෝ මහාධිකරණ  විනිසුරුවරයා විසින් නිදහස් කරනු ලැබූහ.



දෙවිනුවර ඔරලෝසු කණුව ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කර තිබුණේ මරක්කල මානගේ ජගත් චමින්ද කුමාර, රංජිත් හෙන්දාවිතාරණ, පිංචා බදුගේ සුපුන් චන්දන, නිහාල් අමරදේව හා චන්ද්‍ර කුමාර, මහ සරුක්කාරගේ සමන් ලසන්ත තේනබදු යන අයයි. මරණ දඬුවම නියම වූ විත්තිකරුවන් සයදෙනා බන්ධනාගාරය වෙත රැගෙන යාම සඳහා මහාධිකරණයෙන් පිටතට රැගෙන යන අවස්ථාවේ දී ඔවුන්ගේ පවුල්වල ඥාතීන් විශාල පිරිසක් මහාධිකරණය ඉදිරිපිටට රැස්ව සිටියෝය.මේ නිසා මාතර මහාධිකරණය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.


-ක්‍රිෂාන් ජීවක ජයරුක් -