sathosa-lorry

ගංජා බෙදාහැරීම් සම්බන්ධයෙන් අධිකරණයෙන්  වැරදිකරුවකු බවට පත්ව වැඩ තහනමට ලක්ව වසර ගණනාවක් සේවයෙන් ඉවත් කර සිටි සතොස ප්‍රවාහන අංශයේ සේවකයකු නැවත සේවයේ පිහිටුවා ඇතැයි සතොස ආරංචි මාර්ගවලින් දැන ගන්නට තිබේ.  මෙම සේවකයා ගංජා බෙදාහැරීම සිදුකර තිබෙන්නේ සතොස ලොරි රථවලින් බවට ද චෝදනා එල්ල වී තිබු බව ද ඒ සම්බන්ධයෙන් ආයතනයේ විනය පරික්ෂණයක් සිදුකළ බවද එයින් ද ඔහු වැරදිකරුවකු බව තහවුරු වූ බවද දැන ගන්නට තිබේ. මොහු නැවත සේවයේ පිහිටුවන ලෙස වත්මන් වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටිය දී එකල වෙළෙඳ ඇමතිව සිටි බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබු බව ද දැනගන්නට තිබේ.



ඒ අනුව බන්දුල ගුණවර්ධන මහතා ඔහුට පත්වීම ලබා දෙන්නැයි එකල සිටි සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතාට නියෝග කර තිබුණ ද ඔහු එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබු බව ද දැන ගන්නට තිබේ. නලීන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ ඇමැතිවරයා වශයෙන් නැවතත් එම සේවකයාට පත්වීම් ලබාදෙන ලෙසට සතොස සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද දැන ගන්නට තිබේ. තුෂාර දිසානායක මහතා සතොස සභාපතිධුරයට පත්වීමට පෙර සිටම මෙම සේවකයා ඔහු සමග සමීප ගනුදෙනු පවත්වමින් තමන්ට නැවත පත්වීම ලබා ගැනීමට සහය වන්නැයි ඉල්ලීම් කර ඇති බව ද දැන ගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදී වෙළඳ ඇමැති නලීන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේ තමන් එවැනි සේවකයකු සම්බන්ධයෙන් නොදන්නා බවය. එසේම එවැනි පත්කිරීමක් සම්බන්ධයෙන් ද තමන් නොදන්නා බවත් එම පත්වීම සිදුකළ බව කියන සභාපතිවරයාගෙන් විමසා ප්‍රකාශයක් කරන බව ද ඔහු සඳහන් කළේය.

එහෙත් ඉන්පසු ඔහු සඳහන් කළේ තමන් සාකච්ඡාවක නිරත වන නිසා ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවය. සතොස සභාපති නීතිඥ තුෂාර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවැනි අදහසකි. මේ පුද්ගලයා නැවත සේවයේ පිහිටුවන ලෙසට මීට පෙර සිටි ඇමතිවරුන් දෙදෙනකුම දැනුම් දී තිබුණා. මට සභාපති ලෙස වැඩ කරන්න සිදුව තිබෙන්නේ නලීන් ප්‍රනාන්දු ඇමතිවරයා සමගයි. මටත් මේ ඉල්ලීම ඉදිරිපත් වුණාම මම එහෙම කරන්න බැහැ කිව්වා. ඒ සඳහා අමාත්‍යංශයෙන් ඒක පුද්ගල පරීක්ෂණ කමිටුවක් පත් කළා. ඒකේ නිර්දේශ මත තමයි මම මේ පත්වීම කළේ යැයි ද කීය.

මුදිතා දයානන්ද