western-province-bus-service-school

පාසල් සිසුන් ප‍්‍රවාහනය සඳහා නව පාසල් බස් රථ සේවාවක් අද(15) සිට ආරම්භ කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.  මේ යටතේ කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පිහිටි පාසල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙනුවෙන් නව පාසල් බස් රථ සේ ක්‍රියාත්මක කෙරෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරි ජගත් පෙරේරා මහතා පැවසීය.

ඒ ඒ දිස්ත්‍රික්කවල පිහිටි විද්‍යාල කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම පාසල් බස් රථ සේ කැස්බෑව - පිටකොටුව, මොරටුව  - පිටකොටුව, තොටලඟ-නාරාහේන්පිට, බදුරලිය - මතුගම හරහා හොරණ, හොරණ - කළුතර හරහා අලුත්ගම, හෝමාගම - දෙකද හරහා නාරාහේන්පිට. හෝමාගම - හයිලෙවල් පාර ඔස්සේ මරදාන, කොට්ටාව - මහරගම හරහා පිටිපන හා රද්දොලුව සිට කොළඹ යන මාර්ගවල ධාවනය කෙරේ.

සාමාන්‍ය බස් රථ ගාස්තු යටතේ ක්‍රියාත්මක මෙම නව පාසල් බස් රථ සේවා සඳහා පෞද්ගලික බස් රථ යොදවා ඇති බවත්  සාමාන්‍යාධිකාරි ජගත් පෙරේරා මහතා කීය. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ  උපදෙස් පරිදි බස්නාහිර පළාත් මාර්ගස්ථ  ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව  මහතාගේ අධීක්ෂණය යටතේ නව පාසල් බස් රථ සේවා ක්‍රියාත්මක කෙරේ.