warakapola-army-police-shed-cctv

වරකාපොළ, දුම්මලදෙණිය ‘නයිල්‘ නමැති සිපෙට්කෝ ඉන්ධන පිරවුම් පොළේදී පොලිස් සැරයන්වරයකුට හමුදා ලුතිනන් වරයෙකු පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේවනවිට ආන්දෝලනයක් මතුව තිබේ.
ඊට හේතුවී ඇත්තේ එදින සවස පැමිණි ඉන්ධන තොගය රාත්‍රී වනතුරු පෝලිමේ පිළිවෙලට හමුදා අධීක්ෂණය යටතේ ලබාදෙමින් තිබියදී රාත්‍රී 9.30 ට පමණ තවත් වාහන දෙක තුනකින් ඉන්ධන තොගය අවසන් වන බවට පිරවුම්හල් බලධාරීන් දැනුම්දී ඇති වේලාවක ඇතිවූ සිද්ධියකි.

මෙම අවස්ථාවේ ඒ ආසන්න රථවාහන රාජකාරියේ නියුතු පොලිස් සැරයන් වරයෙකු පෝලිමෙන් පිට පන්නවා ඉදිරියට ගෙන්වූ පළතුරු වෙළෙන්දකුට අයත් කැබ් රථයක් පෙන්වා එයට ඉන්ධන ලබාදෙන ලෙස පිරවුම්හල් නිලධාරීන්ට දැනුම් දෙන අතර සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් රාජකාරියේ යෙදී සිටි හමුදා නිලධාරියා පොලිස් නිලධාරියා සමග බහින්බස්වීමක් ඇතිකරගනී. අනතුරුව හමුදා නිලධාරියා පොලිස් නිලධාරියාට දිගින් දිගට පහරදෙන අතර ගුටිකන පොලිස් නිලධාරියා වරෙක තම පිස්තෝලය එලියට ගන්නටත් උත්සාහ දරන නමුත් පසුව අවට සිටියවුන් ඔහු වළක්වන අතර හමුදා නිලධාරියාද වළක්වා දෙන්නා දෙපසට ඇදගෙන යන නිසා සිද්ධිය අවසන් වේ.
මෙම පහරදීම සිදු කළ 36 හැවිරිදි යුද හමුදා ලුතිනන්වරයකු පෙරේදා 22 වැනිදා රාත්‍රි අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය කියයි.


ඉන්ධන පිරවුම්පොළේ රාජකාරි කටයුතු සඳහා කුරුණෑගල බෝයගන්නේ යුද හමුදා කඳවුරේ විජයබා පාබල රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි කටයුතු කරන මෙකී ලුතිනන්ව හා සෙසු නිලධාරීන් තිදෙනකු යොදවා තිබූ අතර වරකාපොළ පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කටයුතු කරන පොලිස්  සැරයන්වරයකු ආසන්නයේ රථවාහන හසුරවමින් සේවයට යොදවා සිටි බව පොලිසිය පැවැසීය.
ඇතිවූ සිද්ධියෙන් පසු පොලිස් සැරයන්වරයා වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් ලුතිනන්වරයා වරකාපොළ පොලිසිය අත්අඩංගුවට ගෙන මත්පැන් පරීක්ෂණයට ලක්වූවද පානය කර නොමැති බවට තහවුරු කර ඇත.  දැනට පොලිස් සැරයන්වරයා වරකාපොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ලුතිනන්වරයා ඊයේ 23 වැනිදා වරකාපොළ තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
CCTV වීඩියෝව පහතින්