senal-fernando-gmoa

මේ වන විට උද්ගතවී ඇති ඖෂධ සහ උපකරණ හිඟය හේතුවෙන් රෝහල් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම දැඩි අභියෝගයකට ලක් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම උදෙසා නිදහස් සෞඛ්‍ය සේවාවට අවශ්‍ය සියලු පහසුකම් ප්‍රමාණවත් අයුරින් ලබාදී සෞඛ්‍ය සේවය අඛණ්ඩව ගුණාත්මකව පවත්වාගෙන යාම ඕනෑම රජයකට ඇති ප්‍රබලම වගකීමක් බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. පවතින ඖෂධ හා උපකරණ,  හිඟය පිළිබඳ දිගින් දිගටම බලධාරීන් දැනුවත් කිරීම් සිදුකළත් අවශ්‍ය මොහොතේදී ක්‍රියාමාර්ග නොගැනීම නිසා රෝහල් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම අභියෝගයකට ලක්කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.

නිදහස් සෞඛ්‍ය සේවාව රටට සහ ජනතාවට බරක් නොවන පරිදි අවම පිරිවැයක් දරා ඉහළ ගුණාත්මක තත්වයෙන් පවත්වා ගැනීම සඳහා මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් හඳුන්වා දුන් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම වැදගත් බවද හෙතෙම සඳහන් කළේය. එහෙත් එම නාමය අවභාවිත කරමින්, මහජන මුදල් අවභාවිත කරමින් ඔබේ මාෆියාවක් රට සෞඛ්‍ය සේවාව තුළ ක්‍රියාත්මක වන ආකාරය පාර්ලිමේන්තුවේ රාජ්‍ය පොදු ගිණුම් කාරක සභාවේදී අනාවරණය වී තිබෙන බවත්,

පසුගියදා නිකුත් කරන ලද පාර්ලිමේන්තුවේ රාජ්‍ය පොදු ගිණුම් කාරක සභා වාර්තතාවට අනුව ගෙවුණු වසර කිහිපයේදී සෞඛ්‍ය පද්ධතිය තුළ ඖෂධ මිලදී ගැනීමේ විෂමාචාර සහ ඖෂධ අපතේ යාම නිසා රටට විශාල මුදලක් අහිමි වී තිබෙන බවත් සෙනාල් ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ ගබඩා කිරීමේදී තිබිය යුතු නියමිත උෂ්ණත්වය ඇතුළු ප්‍රමිතීන් ප්‍රශස්ත මට්ටමේ පවත්වා නොගැනීම නිසා 2011 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලයේදී රුපියල් මිලියන 6,259ක් වටිනා ඖෂධ භාවිත කිරීමට නුසුදුසු තත්වයට පත්වී තිබෙන බවට හෙළි වූ බවද ඒ මහතා සඳහන් කළේය.ඖෂධ මිලදී ගැනීමේදී මහජන මුදල් බිලියන ගණනක් අවභාවිත වී ඇති අතර, එම විෂමාචාරයන් නිසා බාල ඖෂධ ලබාදීම මගින් අහිංසක රෝගී ජීවිත දැඩි අනතුරකට හෙළා තිබෙන බවත්, මෙම අවාසනාවන්ත තත්වය දිගින් දිගටම නික්ෂණය කළ තම සංගමය විසින් අදාළ පාර්ශ්වයන් වෙත නිරතුරුවම පැමිණිලි කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.එහෙත් මෙතෙක් එම තත්වය නිවැරදි කිරීමට හෝ වගකිවයුත්තන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු සාධනීය පියවරක් නොගැනීම විමතියට කරුණක් බවත්,

මෙම පසුගාමී ක්‍රියා පිළිවෙත අනාගතයේදී බිහිවන පාලකයන්ට සහ බලධාන්ටද වංචා, දූෂණ සහ විෂමාචාරයන්හි යෙදීමට අනුබල දෙන්නක් බවත් සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ ආකාරයට රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ ඖෂධ ප්‍රමිතිය බිඳ වැට්ටවීමත්, ඖෂධ හිඟවීමට සැලැස්වීමත් සෞඛ්‍ය පෞද්ගලීකරණයේ මූලික පියවර ලෙස නිරීක්ෂණය වී තිබෙන බවත්, එහි දෙවැනි අදියර ලෙස සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැටුප් කප්පාදුව පෙන්වා දිය හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.  සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් අසාධාරණ ලෙස කප්පාදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය අංශ නිලධාරීන් දැක්වූ උනන්දුව සහ කාර්යක්ෂමතාව, මෙම දූෂණ සහ විෂමාචාර තුරන් කිරීමට යොදා නොමැති බවත්, මේ නිසා මෙම දූෂණ හා විෂමාචාර පිළිබඳ විමර්ශනයක් සිදු කර එහි වරදකරුවන් හඳුනාගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

(ඉන්දික හේවාවිතාරණ)