rathana-thera-jude-shramantha

පසුගියදා විකාශය වූ දෙරණ 360 වැඩසටහනට එක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රෝයල් පාක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එතැන මුදල් ගනුදෙනුවක් සිදුවූ බවට සැකයක් ජනතිවන ආකාරයට කථා කළේය. ඒ සමාව දීම පසුපස අතුරලියේ රතන හිමියන් උනන්දුවෙන් සිටීම ගැනද කීවේය. තමා සතයක්වත් නොගත් බව කී අතර එහිදී වක්‍රව කියා තිබුනේ රතන හිමි මුදල් ලබාගෙන ජූඩ් ශ්‍රාමන්ත නමැති අපරාධකරු නිදහස් කරන්නට තමාව එකඟ කරගන්නට ඇති බවයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ අදාළසිදුවීම ගැන පරීක්ෂණයක් ඉල්ලා ඇත. හිමියන් එතැන සිටි මාධ්‍ය වේදීන් අමතා මෙසේ කියා තිබේ.

"ජූඩ් ශාමන්ත ජයමහ යන පුද්ගලයාව නිදහස් කරන ලෙස නියෝග කළේ, විශේෂයෙන්ම බන්ධනාගාරය මුල්කරගෙන පවතිනවා විශේෂඥ කමිටුවක්. ඒකට හිටපු නඩුකාරවරු, නීතිඥයින්, මනෝ වෛද්‍ය විශේෂඥවරු ඇතුළු ඇතුළු පිරිසක් තමා මේ පරීක්ෂණය කරන්නේ. එහිදී තමා මේක නිර්දේශ වුණේ. මොහුව මරණීය දණ්ඩනයෙන් නිදහස් කොට ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කරලා, ඊට පසු වසර ගණනක් ගියාට පස්සේ, ඔහුට මරණීය දණ්ඩනයෙන් නිදහස් කරන ලෙස ප්‍රකාශ කළේ මේ විශේෂඥ කමිටුව.

විශේෂයෙන්ම මේ පවුලේ අය මා වෙත යොමු කළේ අපවත් වී වළාද මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවෝ. මම කල්පනා කළා අපි සියලුදෙනාම නිදහස් වෙන්න ඕනේ.

අනිත් එක ජූඩ් ශාමන්ත ජයමහ නිදහස් කරන්න කියලා අපි නෙමෙයි ඉල්ලුවේ ප්‍රධාන වශයෙන්ම. ඒක බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආශ්‍රිතව තියෙන විශ්‍රාමලත් නඩුකාරවරු, මනෝ වෛද්‍ය, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශේෂඥ මණ්ඩලයක් තමයි ජූඩ් ශාමන්ත ජයමහ නිදහස් කරන්න කියලා ඉල්ලුවේ. අපි මේක ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ, අවසාන වශයෙන් මේ නිදහස ලැබෙන්නේ ජනාධිපතිතුමාගේ අත්සන නිසා. වක්‍රාකාරයෙන් යම් චෝදනාවකට අපි ගොනුවන නිසා වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම අද පැමිණිල්ලක් කළා."

සිද්ධියට අදාළ පෙර විස්තරය
රෝයල් පාක් ඝාතක ජූඩ් ශ්‍රමන්ත නිදහස් කරේ මුදල් අරන් - මෛත්‍රිපාල හෙළි කරයි