jude-shramantha-maithripala

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන සිය ධූර කාලයෙන් සමුගන්නට ආසන්න අවසන් සතියේදී ජනපති සමාව ලැබී නිදහස්වූ රෝයල් පාර්ක් ඝාතක ජූඩ් ශ්‍රමන්ත අපරාධකරු ගැන විශාල ආන්දෝලනයක් හටගත්තේය. 
 19 හැවිරිදි ස්වීඩන - ලාංකික සම්භවයක් සහිත යුවෝන් ජොන්සන් නමැති තරුණියකගේ හිස් කබල කුඩුවනතුරු බිත්තියකට ඇණ පසුව ඇය ඉහළ මහළකින් පහළට තල්ලු කර මරාදමන ලද ජූඩ් ශ්‍රමන්ත මෙම ඝාතනය නිසා මරණ දඩුවමට ලක්වූයේ ශානි අබේසේකර නම් දක්ෂ අපරාධ පරීක්ෂක නිලධාරියා ගොනු කළ පැහැදිලි සාක්ෂි නිසාය. මියගිය තරුණියගේ සොයුරියක වූ කැරොලින් සමග ජූඩ් ශ්‍රමන්ත පෙම් සබඳතාවක් පවත්වා තිබූ අතර එම සබඳතාව බිඳදමන්නට කේලාම් කිව්වේය යන සැකයකට ඇගේ සොයුරිය වූ ඉවොන් මෙසේ මරාදමා තිබුණි.


ඉහළ සමාජ ස්ථරයකට අයත් පුද්ගලයෙකුවූ ජූඩ් ශ්‍රමන්ත නිදහස් කළ පසුව මෛත්‍රිපාල ජනපති මාධ්‍ය අංශය ඒ ගැන පැහැදිලිකරමින් දන්වා සිටියේ ජූඩ් ශ්‍රීමන්ත ජයමහ ඒ කාලේ 19 වියේ නොදන්නා වයසක සිටියත් ඔහු දැන් ආචාර්ය උපාධියක් පවා සම්පූර්ණ කළ අනාගතයක් තිබෙන සිරකරුවෙකු බවත් ඔහුගේ මරණීය දඩුවමට සමාව දීමට සලකා බැලූ බවයි.
ජීවිතාන්ත දක්වා සිර දඬුවම් ලබා සිටි 34 හැවිරිදි දොන් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ යන අය සම්බන්ධයෙන් ඇති සාධනීය කරුණු සානුකම්පිතව සලකා බලා ජනාධිපති සමාවක් පිරිනමන ලෙස අතුරලියේ රතන හිමි ඇතුළු ආගමික නායකයින්, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්, නීතිඥයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, තරුණ සංවිධාන
ඇතුළු විවිධ පාර්ශ්ව විසින් ජනාධිපති තුමා වෙත ලිඛිත ඉල්ලීම් සහ නිර්දේශ ඉදිරිපත් කරන ලද නිසා සමාව දුන් බවයි.
මේ පිළිබඳව සිය මුහුණු පොතේ ගිණුමට ප්‍රකාශයක් කරමින් ඉවෝන් ජෝන්සන්ගේ සහෝදරිය වන කැරොලින් ජොන්සන් පවසා තිබුනේ චූදිතයා නිදහස් කර ගැනීම වෙනුවෙන් ඔහුගේ පවුලේ උදවිය බලය හා මුදල් යොදා ගත් බවයි.
මෙවැනි දෙයක් තමන්ගේ පවුලට, සහෝදරියට, හෝ වෙනත් අයෙකුට සිදුවන්නේ නම් එය කෙසේ දැනේවිදැයි කැරොලින් ප්‍රශ්න කර තිබුණි.
මෙම සිදුවීමෙන් පසු තමන්ද නිදහස් කරන ලෙස ඉල්ලා සිරකරුවන් කොටසක් උද්ඝෝෂණයකද නිරත විය.
නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් ඒ ගැන මෙසේ කියා තිබුණි.‘මෙම තේරීම සාමාන්‍ය පටිපාටියට අනුව කළ තේරීමක් නොවේ. මෙය විශේෂ සමාව දීමකි. මෙය චේතනාන්විතව සිදුකළ මිනීමැරුමක් නොවන බවට  මහාධිකරණය තීරණය කළ තීන්දුව වෙනස් කර චූදිත චේතනාන්විත මරණයකට වරදකරු කරමින් අභියාචනාධිකරණය ලබාදුන් මරණ දඬුවමක්. ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ අභියාචනය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කළා. ඔහු වරදකරු වී තවම අවුරුදු දහයක්වත් නෑ.‍
මීට වඩා අඩු වරදවලට චෝදනා ලැබ සිරභාරයේ සිටින විශාල පිරිසක් ​ඉන්නවා. අනුකම්පා සහගතව කටයුතු කළ යුතු අය ඒ අතර ඉන්නවා.
ඒත් මෙවන් නිදහස් කිරීමක් සමාජයට ලබාදෙන්නේ මොන වගේ සාධාරණ අදහසක්ද?‘


මෛත්‍රිගේ ‘ජනපති සමාව‘ තැන් තැන්වල කථාබහට ලක්වූ නමුත් ඒ වනවිට දේශපාලන වෙනසක් සිදුවී රටේ ප්‍රධන මාතෘකාව වෙන පැත්තකට ගිය නිසා මෙම සිද්ධිය ඉබේම යට ගියේය.
නමුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඇතුළු අය මේ ගැන අවස්ථා ගණනාවක හෙළිකර කියා සිටියේ මුදල් ගනුදෙනුවක් නිසා මෙම නිදහස් කිරීම සිද්ධවූ බවයි.

මේ අතර ඊයේ දෙරණ 360 වැඩසටහනට එක්වූ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන දිගු කලකට පසු ඒ ගැන කථා කළේය.
රෝයල් පාක් ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාවදීමේ දී පවුලේ සාමාජිකයින්ගෙන් කිසියම් අයෙකු මුදලක් ලබාගෙන ඇති බවට බුද්ධි අංශ නිලධාරින් අනාවරණය කළ ඔහු එහිදී කීවේය.
හිටපු ජනාධිපතිවරයාඒ ගැන ප්‍රකාශ කළේ මෙසේය.
“රෝයල් පාර්ක් තරුණයා ගැන දෙමාපියෝයි අතුරලියේ රනත හිමි ඇවිල්ලා ලිපියක් දීලා කතා කළා. මම වැඩිය ඒ ලිපිය ගණන් ගත්තෙත් නෑ. ඊට පස්සේ මම දන්නෙත් නෑ හිටපු ගමන් වරින් වර රතන හාමුදුරුවෝ එනවා ඒ රෝයල් පාර්ක් පවුලේ අයත් එක්ක ඇවිල්ලා කියනවා මේක කොහොමහරි කරලා දෙන්න කියලා.”

ප්‍රශ්නය – උන්වහන්සේට තිබුණ උනන්දුව මොකක්ද ඒ ගැන ?

“ඇත්තටම ඉතින් මට කියන්න බෑ,


මොකද අර පවුලත් ක්‍රිස්තියානී පවුලක්. ඒ තරුණයා නිදහස් කරන්න මම කොටි 5ක් අරන් තියෙනවා කියනවා. කෝටි 800ක් අරන් කියනවා. කෝටි 500ක් අරන් කියනවා. ඉතින් මම ඒ කාලේ CID මහත්වරුන්ට කිව්වා මෙන්න මේ විදියේ කතාවක් යනවා රෝයල් පාර්ක් ළමයා නිදහස් කරපු එක ගැන මම විශාල මුදලක් ගත්තා කියලා ඒ නිසා මේ ගැන ටිකක් හොයන්න කියලා. පස්සේ හොයාගෙන යනකොට ඒ පවුලේ අය යම් මුදලක් කාටහරි දීලා තියෙනවා. මමනං සතපහක්වත් ගන්නෙත් නෑ… ගත්තෙත් නෑ…”

ප්‍රශ්නය – ඒ අරගෙන තියෙන අය තමයි බොහෝ සේ උනන්දුවෙලා තියෙන්නේ කියලා හිත්ත පුළුවන් ද?


“ඔව් ඉතින් උනන්දුවෙලා තියෙන්නේ ඒ අය කියලා කියන්නත් පුළුවන්.”